colombo-port

 මෙරටට ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1300ක් පමණ, මාස තුනක් පමණ තිස්සේ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.  බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම, මෙම භාණ්ඩ කන්ටෙනර් වරායේ ගොඩගැසී තිබීමට හේතුවන බව භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  

පරිප්පු, කඩල, හාල්මස්සන්, වියළි මිරිස්, සුදුලූනු, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල් ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක් පමණ ද, සීනි අඩංගු කන්ටේනර් 433ක් පමණ ද මෙසේ වරායේ ගොඩගැසී ඇති බව එම ප්‍රකාශකයා පැවසීය. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කටේනර් 800 තුළ භාණ්ඩ ටොන් විසිදහසකට අධික (කිලෝ ලක්‍ෂ 200). ප්‍රමාණයක් අඩංගු බව ද ඔහු කීවේය.



සිය සංගමයේ සාමාජිකයන් සහ සාමාජිකයන් නොවන ආනයනකරුවන් 40ක් හෝ 50ක් පමණ ගෙන්වා ඇති භාණ්ඩ මෙසේ ගොඩගැසී ඇති බව හෙතෙම සඳහන් කළේය.  මේවා නිදහස් කරගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවී ඇතැයි ඔහු කීවේය. මෙම භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ ද නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව කී එම ප්‍රකාශකයෝ, නව මහ බැංකු අධිපතිවරයා ද මෙම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර ඇති බව කීවේය. ඒ අනුව  මෙම අර්බුදය ඉදිරි සති දෙක තුළ විසඳේ යැයි විශ්වාස කරන බවත්, අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට සහභාගි වී එයට මෙම ගැටලුව ඉදිරිපත් කරන බවත් එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු මේ  සම්බන්ධයෙන් පැවසුවේ සීනි කන්ටෙනර් 500ක් පමණ වරායේ ගොඩගැසී ඇති බවය.  ඒවා සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුව ආනයනය කරන ලද ඒවා බව ද ඔහු සඳහන් කළේය.

  වරායේ පර්යන්තවල සීනි කන්ටේනර් 403ක් සහ පෞද්ගලික පර්යන්තවල කන්ටෙනර් 100ක් පමණ ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙම කන්ටේනර් 503 තුළ සීනි මෙට්‍රික්ටොන් 13,000 ක් (කිලෝ ලක්ෂ 130) පමණ ඇති බවත් මෙහි පැරණිම කන්ටේනරය මීට මාස තුනකට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති බවත් එම නිලධාරියා පැවසීය.

 -යොහාන් භාසුර-