bandula-police

පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජීකයකුට බලපෑම් කළ බවට සාවද්‍ය ප්‍රකාශයක් කිරීම පිළිබඳව අපක්‍ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (23) පැමිණිල්ලක් කළ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23) පැවැසීය. 


අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"පාරිභෝගික කටයුතු අධිකාරිය සෘජුවම අයත් වන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට මා කිසිසේත්ම මැදිහත්ව නෑ. තර්ජනය කිරීමට  හෝ බලපෑම් කිරීමට හෝ හිටපු අධ්‍යක්ෂවරයා හමුවී හෝ

දුරකතන ඇමතුම් ලබාදීමට හෝ මා කටයුතු කර නෑ. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මා කළ පැමිණිල්ලට අනුව අපක්ෂපාතී පරික්ෂණයක් කිරීමේ වගකීම පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙනවා. මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේ සැඟවුණු අරමුණු හෙළි කරගැනීමට ජාතියේ හා ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද මම කියනවා."

සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පවා පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමග සෘජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් සහ මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් තමා වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල සේවයක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.   යහපාලන රජය රුපියල් බිලියන 28ක (කෝටි 2800) අලාබයක් සහිතව වර්තමාන රජයට උරුම කර දුන් සතොස යළිත් ගොඩ නැවීමට කටයුතු කරමින් සිටියදී

බොහෝ පාර්ශව එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ද ඇමැතිවරයා කීය.  හිටපු අධ්‍යක්ෂවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ යම් වංචාවක් සිදු කර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.