මෙරට ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම්, ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු ඉතා වැදගත් දත්ත රාශියක් ඇතුළත් අන්තර්ජාල දත්ත ගබඩාව ජූලි මස මුල දිනකදී මැකී ගොස් ඇති බව ඉන් සති කීපයකට පසු මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි. මේ සිද්ධිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් විය. මේ පිටුපස සැගවී සිටින්නේ එසේ මෙසේ කෙනෙකු නොවන බව පැහැදිලිය. 


මේ පිළිබද තවත් තොරතුරු තහවුරු වන්නේ 2017 දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම හා අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට පවා කිසිදු පියවරක් ගෙන නොමැති වීමත් සමගය. මේ කටයුත්ත සුපිරි මොළයක් විසින් මෙහෙයවූ කටයුත්තක් බව අනාවරණය වෙමින් පවතියි.
විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකු මේ පිටුපස සිටින බව ආරංචි මාර්ග පවසයි. ඔහු පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මකා දැමීම සිදුව තිබෙන බව පැවසේ. ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම මෙන්ම දැවැන්ත මූල්‍ය ලාභයක් ලබා ගැනීම මොහුගේ අභිලාෂය බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීහූ සැක පහළ කරති.