Weeraketiya-relatives-and-relatives-quarrel

වයස 14 දරුවෙකු පවුල් ආරවුලක අනිසි ගොදුරක්වූ කණගාටුදායි පුවත ඉකුත් 19 වන දින වීරකැටිය ගජනායකගම ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙම සිදුවීමෙන් මියගියේ 14 හැවිරිදි සචින්ත නිම්සරයි. ඔහුගේ පියා හා පියාගේ පවුලේ මොහොට්ටිගේ තිලක් නමැති සහෝදරයකු ආසන්න නිවෙස්වල ජීවත්වූ අයයි. මේ පවුල් දෙක අතර කලක් තිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් යම් ආරවුලක් පැවතී ඇති අතර ආරවුල ලිහාගැනීමට නොහැකි වීම නිසා වාදවිවාද තිබී ඇත.
සිද්ධිය සිදුවූ 19 දින රාත‍්‍රි 10ට ආසන්න වෙලාවේ තිලක් ඇතුළු පිරිසක් සචින්තගේ නිවසට පැමිණියේ අද දෙකෙන් එකක් බේරා ගන්නවා යයි කියමිනි.
තිලක් සමග මේ ගමනට තවත් පස් හය දෙනෙකු එකතු වී ඇතැයි වාර්තාවිය. පයින් එන දුරකින් පිහිටි සචින්තගේ නිවස අසලට පැමිණි තිලක් සචින්තගේ තාත්තට හඩ දෙමින් බණින්නට විය. දෙපිරිස අතර වන මේ රණ්ඩුව දරුණු ස්වරූපයක් ගත්තේ බයිසිකල් චේන්ද වනමින් කළ කථාබහ නිසාය. තිලක් ඇතුළු පිරිස පැමිණීමත් සමග සචින්තගේ පියාද නිකන් සිට නැත. දෙපිරිස හොඳහැටියට කුණුහරුපෙන් බැණ ගනිද්දී 14 හැවිරිදි සචින්ත ඇතුළු නිවැසියන්ද නිවසින් එළියට බැස අවුල් සහගතව සිට ඇත.


දෙපිරිස අතර වූ මේ බහින් බස් වීම විනාඩි 30කට ආසන්න කාලයක් පැවතුණු අතර අතින් පයින් පහරදීම අරඹා කිසිවෙකුත් කිසිවෙකුට දෙවෙනි වන්නට සූදානම් වී නැත. වෙනදා රණ්ඩුවට පැමිණි තිලක් මෙදින රණ්ඩුවට ඇවිත් තිබුණේ ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්ද ඉනේ ගසාගෙනය.
 බහින් බස්වීම දිගින් දිගටම යද්දී ඉවසුම් නොමැති වූ තිලක් ඉනේ ගසාගෙන සිටි ගල්කටස් වර්ගයේ ගිනිඅවිය එළියට ඇද තෝ අද මන් මෙතනම මරනවා කියාගෙන සචින්තගේ පියාට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.  තිලක් තැබූ වෙඩි පහරට ඉලක්කය වැරදිනි. බිම ඇද වැටුණේ ඒ ආසන්නයේ සිටි 14 හැවිරිදි සචින්තය. පිරිස කෑකෝ ගසමින් විලාප දෙද්දි තිලක් ඇතුළු කණ්ඩායම වහා එම ස්ථානයෙන් පලා ගිය බව කියැවේ.
සචින්තගේ පියා හා මව ඇතුළු පිරිස එක්ව බිම ඇද වැටී සිටි සචින්ත වහා වීරකැටිය රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් දරුවා මෙලොව හැරදා ගොස් තිබුණි.
පියාට තැබූ වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 14 හැවිරිදි සචින්ත නිම්සර හ/ගජනායකගම කණිෂ්ඨ විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
සිය පුතුගේ වියෝව දරාගත නොහැකි වූ සචින්තගේ මවගේ විලාපය අහල ගම් සියල්ලම හඩවන්නට සමත්වීය.

”මගේ පුතාගේ උපන්දිනය දවසේ අපිට පුතාගේ මරණය දකින්න ලැබුනේ. පුතා මට කිව්වා අම්මේ හෙට මගේ උපන් දිනය. මට උපන්දිනය සමරන්න ඕනේ කියා පුතා මට කිවුවා. මං හා පුතේ මගේ පුතාගේ උපන්දිනය අපි හෙට සමරමු කියලා කිව්වා. මේකටද දෙයියනේ උපන්දිනය සමරමු කිව්වේ” යැයි කියමින් සචින්තගේ මව විලාප දෙන්නට වූයේ යන එන සියලූම දෙනාගේ නෙතට කඳුළක් එක් කරමිනි.


20 වන දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණි වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් එල්.බී. හේරසිංහ මහතා විසින් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර සිරුර තංගල්ල මූලික රෝහලට
 රැගෙනගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වීරකැටිය පොලිසියට නියෝග කළේය.
 සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු නිවෙස් තුළ සැගව සිටියදී 20 දින අලූයම අත්අඩංගුවට ගැනුණි. එහෙත් ප‍්‍රධාන සැකකරු ඇතුළු තවත් එක් අයෙකු එනම් මොහොට්ටිගේ තිලක් නොහොත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නැමති දෙදෙනා හමුවූයේ නැත. පොලිසිය කළ සොයා බැලීමේදී ඔවුන් ගෝනහේන ප‍්‍රදේශයේ තේක්ක කැළයක සැගව සිටි බවට තොරතුරු ලැබිණි. ඒ අනුව ක්‍රියාත්මකවී 22 දින පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ගල්කටස් වර්ගයේ ගිනිඅවියද පොලිස් අත්අඩංගුවට ගැනුණි.ඔවුන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා නියම කර තිබේ.
මේ අතර ගමම හඩවමින් අවසන් ගමන් ගිය සචින්ත නිම්සර දරුවා භූමිදානය කළ දිනයේ වළදැමූ සොහොනට ගොස් දුක වාවනු නොහැකිව ඔහුගේ සීයා වස පානය කර දිවිනසාගන්නට තැත් කර තිබූ අතර පසුව රෝහල් ගත කර ඔහුගේ තත්වය සමනය කරගන්නට හැකි විය.