The medical student who got angry with the married woman for stopping the affair and sent clips to her husband and sister

රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් අන්තර්ජාලය ඔස්සේ දැනහඳුනාගත් කාන්තාවක සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් එය අහිමිව යාමෙන් උරණවී ඇයගේ අසභ්‍ය හැසිරීම් වීඩියෝ කොටස් ඇයගේ සැමියාට හා නැගණියට යවා කලබලයක් ඇති කළ පුවතක් වාර්තාවේ.
වෛද්‍ය සිසුවා මීට කලකට ඉහත අන්තර්ජාලයේ සැරසරද්දී ෆෙස්බුක් ඔස්සේ මෙම කාන්තාව දැනකියාගෙන තිබෙන අතර ඇය  අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් විවාහක බවත් දැනගෙන ඇත. කෙසේ වෙතත් මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බව හා ඇය නැගණියක සමග නිවසේ සිටින බවටද තොරතුරු දැනගෙන තිබේ. මුලදී ‘චැට්‘ඇසුරක්වූ මෙය පසුව මුහුණට මුහුණ බලා කතාකරන ‘වීඩියෝ‘ ඇසුරක් බවට පෙරළී ඇති අතර සැමියා නැති පාළුවෙන් කාලය ගතකරමින් සිටි මෙම කාන්තාවට වරින්වර මොහු හා ඔන්ලයින් ඇසුර විනෝදයක් සපයා ඇත. ඇතැම් අවස්ථාවල වට්ස්ඇප් වීඩියෝ ඔස්සේ කථාබහ අතරතුර නිරුවත පෙන්වීමටද ඇය නොපැකිළ වූවාය.

මේ අතර ලොක්ඩවුන් ඉවත් කළ කාලයේ මේ දෙන්නාට මුණගැසීමටද ආසාවන් පහළවූ අතර ඇය සිටි ප්‍රදේශයට ගිය මෙම වෛද්‍ය සිසුවා තාවකාලිකව කුලියට ගත් කාමරවලදී අඹුසැමි ආකාරයේ ඇසුරුකම් පවත්වන්ටද අවස්ථාවන් සලසා ගෙන තිබුණි.
නිවසේ සිටින නැගණියටද රට සිටින සැමියාටද හොරෙන් පහසුවෙන් නිවසින් පිටත්ව එන බව කියන මෙම කාන්තාව වෛද්‍ය සිසුවා සමග යහන් ගතවූවාය.
මේ අතරවාරයේ තමන්ට මතකයේ තබාගැනීමට වටීවි යයි කියමින් ඔවුන් යහන්ගතවන දර්ශන කාමරයේ සිටුවා තැබූ ජංගම දුරකථනයෙන් විඩියෝ ලෙස පටිගත කරන්නටත් මෙම සිසුවා උනන්දුවී තිබෙන අතර කාන්තාව ඊට විරුද්ධත්වයක් දක්වා තිබී නැත.
මේ අතර පසුගිය කාලයේ වෛද්‍ය සිසුවාට පාඩම් වැඩ වැඩිවී තිබෙන අතර ඔහු ඒ වෙනුවෙන් වෙහෙසවීම හා කාලය සීමාසහිතවීම නිසා මෙකී සම්බන්ධය දිගින් දිගටම කරගෙන යාමට වේලා ප්‍රශ්නයක් පැනනැගී ඇත. ඔහු තාවකාලිකව ඇය හා ඇසුර තරමක් ඈත් කර ඇත්තේ විභාගයෙන් පසුව යළි අමතන බවට ඇයට පොරොන්දුවෙමිනි.

 මේ අතර අනියම් වෛද්‍ය සිසු පෙම්වතා වෙනුවට වෙනත් පෙම්වතුන් ඇසුරට ගිය බව කියන මේ කාන්තාව ඔහුගේ අඩුව පුරවාගන්නට වෙනත් අයෙකු සොයාගෙන තිබේ.
විභාග අවසන්වී විවේකය ලැබුණ පසු අනියම් පෙම නැවත පණගන්වන්නට සිතා කාන්තාව වෙත වෛද්‍ය සිසුවා කථා කර ඇත්තේ පසුගිය සතියේය. නමුත් ඒ වනවිට ඇයට මොහුට උත්තර දීම කෙරෙහි වැඩි උනන්දුවක් තිබී නැත. ඇය මොහුව දිගින් දිගට මගහැර තිබෙන අතර අමාරුවෙන් වෙනත් අංකයකින් ඇයව සම්බන්ධ කරගත් අවස්ථාවේ ඇය ඔහුට දන්වා ඇත්තේ ‘මට දැන් වෙන කෙනෙක් ඉන්නවා.. ඔයා එක්ක සම්බන්ධෙ ඕන නැහැ.. මට කතාකරන්න එපා..‘ යනුවෙනි.
පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් කෝප වූ  වෛද්‍ය සිසුවා ඇයට බැණවැදී ඇති අතර ‘එහෙම පුළුවන්ද ඔයාට කරන්න.. ඔයාට මතක නැද්ද අපි කරපුවා..‘ ලෙස විමසා ඇත.


‘ඔව්වා එච්චර දේවල් නෙමේ මල්ලි අද කාලෙ...ඔයා වෙන කෙනෙක් හොයාගන්න.. ඔයාගෙ වැඩක් බලාගන්න.. මට මීට පස්සෙ කරදර කරන්න එපා‘ යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කර තිබේ.

තමාට ඇය හා තිබුණ සම්බන්ධය අහිමිවීම ගැන කම්පනයට පත්වූ වෛද්‍ය සිසුවාට ඇගෙන් පලිගැනීමේ චේතනාවක් පහළවී ඇත. ඒ අනුව ඇය හා සම්බන්ධය පවත්වන කාලයේ දැනගත් විදෙස්ගත සැමියාගේ ෆේස්බුක් ගිණුමටත් නැගණියගේ ෆෙස් බුක් ගිණුමටත් යොමුවූ වෛද්‍ය සිසුවා ඇය සමග එකට සිටියදී ලබාගත් ඇගේ අසභ්‍ය හැසිරීම් සහිත වීඩියෝ ක්ලිප් කිහිපයක් හා ඇය නිරුවතින් චැට් කළ අවස්ථාවල ලබාගත් ස්ක්‍රීන් ඡායාරූප කිහිපයක්  සැමියා හා නැගණිය වෙත ෆේස් බුක් මැසෙන්ජර් හරහා යොමු කර තිබේ.
ඒවා නරඹද්දී දෙන්නාම විස්මයට පත්ව ඇත.
මේ දක්වා නොදැන සිටි රහසක් දැනගැනීම නිසා කාන්තාවගේ සැමියාත් සොයුරියත් උණුසුම් වන්නේ ඉන් අනතුරුවය.
ඔවුන් එකී කාන්තාවගෙන් ඒ ගැන විමසා තිබෙන අතර පසුව ඇයට ඇත්ත කියන්නට සිදුව තිබේ.

තම බිරියගේ අයථා හැසිරීම ගැන වික්ෂිප්තවූ විදෙස්ගත සැමියා ඇයට දුරකථනයෙන් කෝපයෙන් බැණවැදී තිබෙන අතර එම විවාහය පළුදු වන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතී ඇත.

 නැගණිය සමග තමන්ගේ ප්‍රශ්නය දීර්ඝ වශයෙන් කතාකළ කාන්තාව මෙම වීඩියෝ හා ඡායාරූප වලින් වෛද්‍ය සිසුවා ඉදිරියට කුමකින් කුමක් කරාවිද යන්න ගැන බියක් හටගත් නිසා සිද්ධිය පොලිසියට දන්වා සිටීමට තීරණය කළාය.


ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණයක් සිදු කළ අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පාවිච්චි කරමින් සිටි දුරකථනය පොලිස්භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිව තිබූ බව පොලිසිය වාර්තා කළේය.
තරුණයා පෙරේදා (28) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා  රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරි අතර ලබන නොවැම්බර් මස 02 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.