මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනියක සමග පැවැත්වූ අනියම් ඇසුරක් හේතුකොට ඇගේ සැමියාව අනියම් පුරුෂයා විසින් ඝාතනය කරන ලදැයි සිදුවීමක් පසුගියදා වාර්තා විය.
මෙම ඝාතනයට සම්බන්ධ අය ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අයෙකු බවටද තොරතුරු වාර්තා විය.
මිනීමැරුම සම්බන්ධව පොලිසිය විසින් සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සහය ලබාදෙන්නට සූදානම් බව අද දින යුද හමුදාව මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.



සැමියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ සඳහා සහය දක්වමින් යුද්ධ හමුදා සාමාජිකයෙකු ඊට සම්බන්ධවී ඇද්ද යන්න විමර්ශණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත පසුගිය දින කිහිපය තුළදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන ලද බවත්

එසේ සිදුකරනු ලැබු විමර්ශන වලට අනුව මට්ටක්කුලිය යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකු තවත් පුද්ගලයන් සමග එක්ව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් මෙම කොප්‍රල්වරයා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අය සමඟ සබඳතාවක් පවත්වා ඇති බවට සැක කරන බවත්
 මූලික පරික්ෂණ වාර්තාවලින් මේ වන විට තහවුරු කරන්ගෙන තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.



ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පළකරන පුද්ගලයින් මේවන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසිය වෙත භාරදී ඇති අතර මෙම ක්‍රියාවට යම්කිසි යුද්ධ හමුදා සාමාජිකයෙකු වැරදිකරුවෙකු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපතිතුමන් අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.