Gammanpila-searches-from-Dubai-for-oil-spills-from-Diyawanna

දියවන්නා ඔයේ දක්නට ලැබෙන ඉන්ධන තට්ටුවක් සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙයි.
මීට දින දෙකකට පමණ පෙර මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව දැනට ඩුබායිහි සිටින අමාත්‍යවරයාට ලැබුණ ඡායාරූප කිහිපයකද විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව පෙනී යන බව පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.


මෙම ක්‍රියාව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් ද යන්න පිළිබඳව වහාම සොයා බලන්නැයි ද අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ මස 21 සිට 23 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන ගෑස්ටෙක් ප්‍රදර්ශනය සහ සමුළුවට සහභාගි වෙමින් සිටියි. ගෑස්, ද්‍රව ස්වාභාවික වායු , හයිඩ්‍රජන් සහ බලශක්ති කර්මාන්ත සඳහා සහාය වන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ගෑස්ටෙක් වේ.

“හයිඩ්‍රජන්   අනාගත ලෝකයේ බලශක්ති ප්‍රභවයයි” යන තේමාව යටතේ ගෑස්ටෙක් සමුළුවේ පැවැත්වුණු ඇමතිවරුන්ගේ කතිකාවට නයිජීරියාව, බංගලිදේශය, පෘතුගාලය සහ අසර්බයිජානය යන රටවල බලශක්ති ඇමතිවරු සමග ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද එක්ව තිබුණි.