සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රදවාගෙන අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.   මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව ගල්කිස්ස කොට්ඨාසයට මොරටුව  පොලිසියේ විශේෂ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි. ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ බවද පොලිසිය  කියයි. කොස්තාපල්වරයා අවිවාහකයකු වන අතර පහරකෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක බව පොලිසිය කියයි.





ඔවුන් දෙදෙනා දැන හඳුනා ගැනීමෙන් අනතුරුව කොස්තාපල්වරයා කාමරයක් කුලියට ගෙන පිළියන්දල ප්‍රදේශයේ එම කාන්තාව සමග නැවතී ඇති බවද අනාවරණය වී යැයි පොලිසිය කියයි.  සැකකාර කොස්තාපල්වරයා මෙම කාන්තාවට දින දෙකක් තිස්සේ වැසිකිළියට හෝ යාමට ඉඩ නොදී පහරදීම සිදුකර ඇති බවත් ඇයගේ නාසය මෙන්ම ශරීරයේ ස්ථාන  කිහිපයක්ම දැඩිලෙස තුවාල වී ඇති බවත් පොලිසිය කියයි.  කොස්තාපල්වරයා මුදල් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එලෙස ඔහු මුදල් ඉල්ලුවේ කිනම් කාරණයකටද යන්න වැඩිදුර සොයා බලන බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-(ලංකාදීප)