self-closed-towns

කොවිඩ් වසංගතය නිසා රට නොවැසුවත්, ප්‍රධාන නගර නවයක සියලුම කඩ සාප්පු, එම නගරවල වෙළෙඳ සංගම් විසින් ඊයේ (15) ස්වෙච්ඡාවෙන්ම  වසා දමනු ලැබීය. ගම්පහ, අම්බලන්තොට, වේයන්ගොඩ, අම්බලන්ගොඩ, මරදගහමුල, දංකොටුව, සේරුනුවර, මාතලේ පලාපත්වල මඩවල උල්පත සහ උඩවලව නගරයේ කඩසාප්පු වසා ඇති අතර නගර  පාළුවට ගොස් තිබේ.

වෙළෙඳ සංගම් ගත් තීරණ අනුව ගම්පහ නගරය ඊයේ (15) සිට සතියක කාලයක් සඳහාත්,  අම්බලන්තොට සහ වේයන්ගොඩ නගර සතියක කාලයක් සඳහාත්, මාතලේ පලාපත්වල සහ  මඩවල උල්පත නගර ලබන 18 වැනිදා දක්වාත්,  මරඳගහමුල නගරය ලබන 23 වැනිදා දක්වාත්,  සේරුනුවර නගරය සතියක කාලයක් සඳහාත් මෙසේ වසා දමනු ලැබීය. මෙම කඩ සාප්පු වසා දැමුණු නගර බොහොමයකින් කොවිඩ් ආසාදිතයන් හමුවී ඇති බවත් එම ආසාදිතයගේ ආශ්‍රිතයන් පැමිණීමෙන් ඇති විය හැකි අවදානම වැළැක්වීම සඳහා කඩ සාප්පු වසා  දැමීමට මෙසේ තීරණය කළ බවත් වෙළෙඳ සංගම් නියෝජිතයෝ පිරිසක්  පැවසූහ.



කොරෝනා රෝග තත්වය අධික ලෙස පැතිරයාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වළක්වාලීම සඳහා ගහ නගරයේ වෙළෙඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන අද (16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළෙඳ සංගමය  කියයි. මේ සම්බන්ධයෙන් නගරයේ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කළ බවත්, බහුතරය වෙළෙඳසල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ගහ නාගරික එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා පැවසීය.  කොරෝනා අවදානම හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු සැලකිල්ලට ගනිමින් මරඳගහමුල නගරයේ සහල් වෙළඳපළ ඇතුළු සියලු වෙළෙඳසල් (ඔසුසල් හැර )ලබන 23 වැනිදා උදේ හය දක්වා වසා තැබීමට තීරණය කළ බව  මරඳගහමුල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති  රංජිත් කරුණාතිලක මහතා පැවැසීය.

සුදුසු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් වෙළඳසල් පසුව විවෘත කිරීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය. මේ අතර කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන අම්බලන්තොට නගරයේ සියලු වෙළෙඳසල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කළ බව අම්බලන්තොට වෙළෙඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර මහතා කීය. නගරයේ හා ඒ අවට ගම්මානවල කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇති බැවින් වෙළඳ සංගමය රැස්වී මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.  අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් බහුල වශයෙන් වාර්තාවීම සැලකිල්ලට ගෙන නගරයේ සියලුම වෙළෙඳසල් අද සිට (06) සතියක කාලයක් වසා දැමීමට  අම්බලන්ගොඩ වෙළෙඳ සංගමය තීරණය කර ඇති බව තමන්ට දැනුම්දී ඇතැයි අම්බලන්ගොඩ   නගර සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රදීප් මහතා පැවසුවේය.


මේ අතර කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් වාර්තාවීමත් සමග දංකොටුව නගරයේ රන් භාණ්ඩ අලෙවිසලක්, ආපනශාලා, රෙදිපිළි වෙළඳසල් ඇතුළු වෙළඳසල් රැසක් වසා දමා ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. දංකොටුව නගරයේ ත්‍රිරෝද රථගාලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවත්, එම පිරිස් කොරෝනා ප්‍රතිකාරය මධ්‍යස්ථානවලට හා නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවත් දංකොටුව එක්සත් ත්‍රිරෝද සංගමයේ සභාපති ක්‍රිස්ටි ලෙනාඩ් මහතා පැවසීය.  වෙළෙඳසල් වසා දැමීමෙන් දංකොටුව නගර පාළුවට ගොස් තිබෙනු දැකගත හැකිවිය.



වේයන්ගොඩ නගරයේ කොවිඩ් මරණ වැඩි වීමත් ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාමත් හේතුවෙන් සියලු සාප්පු සතියක කාලයකට වසා දැමීමට තීරණය කළ බව වේයන්ගොඩ එක්සත් වෙළෙඳ ව්‍යාපාරික සංගමය කියයි. වේයන්ගොඩ නගරයේ පදිංචිව සිටි වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඇතුළු අට දෙනකුට වැඩි පිරිසක් කොරෝනා වයිරසය ආසාදනවී මිය ගොස් ඇති බවත් රෝගීන් විශාල පිරිසක් වාර්තා වී ඇති බවත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් වීරසිංහ මහතා පැවැසීය.  කොරෝනා වසංගතය හේතුවෙන් සේරුනුවර නගරයේ කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ පියවර ගත්හ. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව සේරුනුවර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත සංගමය පවසයි.

කොවිඩ් අවදානම හේතුවෙන් මාතලේ පලාපත්වල සහ මඩවල උල්පත නගරවල සියලු වෙළෙඳසල් ලබන 18 වැනිදා දක්වා වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ පියවර ගත්හ. පලාපවල වෙළඳ සංගමයේ ලේකම් ජේ.ජ. දිසානායක මහතා පැවැසුවේ කොවිඩ් වසංගත තත්වයය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.  අප සමග අදහස් දැක්වූ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේදෙණිය මහතා මෙවැනි තත්වයකදී වෙළෙඳ ප්‍රජාව ගත් තීරණය අගය කරන බව පැවැසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව නගරයද ඊයේ (16) සිට සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දමන බව වෙළෙඳ සංගමයේ නියෝජිතයෙකු දන්වා සිටියේය.