matara-incident

මංගල උත්සවයක් අතරතුරදී බිම වැටි තිබී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න, රනින් නිම වූ අත් පලඳනාවක්, නැවත එහි හිමිකාරියට ලබාදීමේ ආදර්ශවත් සිදුවීමක් ඉකුත් 30 වැනිදා වාර්තා වූයේ මාතර කැකුණදුර ප්‍රදේශයේ උත්සව ශාලාවකිනි. මෙම මංගල උළෙලට හෝමාගම ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය තම පවුලේ ඥාතීන් ද සමග මංගල උත්සවයේ පළමු දින උත්සවය සඳහා මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගි වී තිබුණි.



 එහිදී මනාල යුවල, මධුසමය සඳහා පිටත්ව යාමට පෙර, දිනය අවසානයේ චාරිත්‍රානුකූල පවත්වන මංගල සභාව අවසන් කොට පිරිස උත්සව ශාලාවෙන් පිටව යන අතරතුරදී ශාලාව තුළ බිම වැටී තිබූ රනින් නිම වූ අත් පලඳනාව ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය මෙසේ අහුලාගෙන තිබුණි.ඇය එම අවස්ථාවේදී කිසිවකුටත් ඒ පිළිබඳව නොදන්වා, මනාලියගේ නිවෙසට පැමිණ රන් අත් පලඳනාවක් අහුලා ගැනීමේ සිද්ධිය මනාලියගේ ඥාතීන්ට පවසා තිබුණි.මේ පිළිබඳව මනාලිය හරහා එදින මංගල උත්සවයට පැමිණි ඥාතීන්ට සිද්ධිය දැනුම් දී විපරම් කිරීමේදී,

 මංගල උත්සවයට මනාලයාගේ පාර්ශ්වයෙන් පැමිණි තරුණියකගේ අත් පලඳනාවක් අස්ථානගත වී තිබූ බවට තොරතුරක් අනාවරණය විය. ඒ අනුව, ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය අහුලාගත්, රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රනින් නිම වූ අත් පලඳනාව එහි හිමිකාරියටම ලබාදීමට පියවර ගෙන තිබුණේ දෙවැනි දින මංගල උත්සවය පැවැති දිනයේදීය එහිදී පැමිණ සිටි සියලු දෙනාගේ ප්‍රසාදය ඇයට හිමි වූ අතර, දෙපාර්ශ්ව යේ විශ්වාසය තහවුරු කරගැනීමට මෙය කදිම සිදුවීමක් බව ද එහි සිටි සියලු දෙනා මුමුණන්නට වූහ.

( මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)