channa-speaks

වයස අවුරුදු 12-18 වයස් කාණ්ඩය සඳහා කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බවට පෙනී යන බවත්, ඒ අනුව එම එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදන සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.


හෙතෙම සඳහන් කර සිටියේ, මෙම තත්වය යටතේ පාසල් ළමයින් සඳහා නුදුරේදීම එන්නත ලබාදීමට හැකියාව ඇති බවයි. මීට අමතරව වයස අවුරුදු 30ට වැඩි ජණ ජනගහනයට කෝවිඩ් එන්නත ලබාදී අවසන් වූ වහාම වයස අවුරුදු 18-30 අතර අය සඳහා එන්නත ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර දරුවන් සඳහා කෝවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේ, එන්නත තුළින් දරුවන්ට හානියක් නොවන බවට තවදුරටත් සහතික කර ගත යුතු බවයි. ඒ අනුව ඒ බව සනාථ වන තෙක් වෙනත් ක්‍රම හරහා කෝවිඩ් වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

(නිදර්ශනී වික්‍රමසිංහ)