Delta-mutation-asks-for-vaccines-in-Sri-Lanka---Prof-Nilika

මෙරට භාවිත කරන එන්නත්වල ක්‍රියාකාරීත්වයට, ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගෙ මහත්මිය පැවසුවාය. කෙසේ වෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාරේන්ම සොයා බලන බව ද ඇය සඳහන් කළාය.  ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයි ද මලවිගේ මහත්මිය කීවාය.

මේ අතර, ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදයේ විකෘතිතා ඔස්සේ මෙරටට ආවේණික නව ඩෙල්ටා ප්‍රභේදයක් බිහිවීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ඩෙල්ටා ප්‍රභේදයේ නිර්මාණය වී ඇති විකෘතිතා මෙරට භාවිත කරන එන්නත්වලට කිසියම් බලපෑමක් එල්ල කරන්නේ දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙම ජාන විකෘතිතා තුනම එකම ඩෙල්ටා වයිරස සෛලයක තිබී සොයාගැනීම විශේෂත්වයක් බවත්, එකම සෛලයක විකෘතිතා තුනක් තිබී හමුවූ ලොව ප්‍රථම අවස්ථාව මෙය බවත් ජීවන්දර මහතා සඳහන් කළේය. මෙම විකෘතිතා තුන සහිත ඩෙල්ටා සැර කොරෝනා  වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙනි. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම විකෘතිතා තුන සහිත ඩෙටා ප්‍රභේද සොයාගනු ලැබීය.


 -සුපිත් හේවාජුලිගේ-