
ලබන සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගීවීමේ අරමුණින් නේවාසික පුහුණුවීම්වල ශ්‍රී ලංකා සංචිතය විසුරුවාහැර අදාළ ආසියානු ශූරතාව සඳහා සහභාගීත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
උස්බෙකිස්තානය සමග මෙරට පැවැති ආසියානු ශූරතා සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගය ජයගැනීමෙන් අනතුරුව ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත අදාළ ශ්‍රී ලංකා සංචිතය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ හෝටලයේ නේවාසිකව එම ගෘහස්ත ක්‍රීඩාගාරය ආශ්‍රිතව මසක පමණ කාලයක සිට පුහුණුවීම්වලට යොමුකර තිබූ අතර එම සංචිතය මෙසේ හදිසියේ විසුරුවාහැරීම පිණිස ආසන්නම හේතුව වී ඇත්තේ සංචිතයේ ක්‍රීඩකයන් රැසකට ඩෙංගු වැලඳී ඇති බව තහවුරු වීමයි.
එයට ප්‍රථම අදාළ සංචිතයේ පුහුණුකරුවන් සමගින් ක්‍රීඩකයන් රැසක් කොවිඩ් රෝගයට ගොදුරු වූ නමුත් මේ වන විට ඒ අතුරින් බහුතරය සුවය ලබා සිටිති. එය සංචිතය ඉදිරියට පවත්වාගෙන යෑමට බාධාවක් නොවී ඇති නමුත් ඊයේ වන විට මෙකී සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයන් 7 දෙනෙකු හට ඩෙංගු ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබීම තීරණාත්මක සාධකය බවට පත්විය. ඩෙංගු වැලඳුණු විට මසක පමණ කාලයක් ගතවන තුරු ශරීරය වෙහෙසවීම් නොකළ යුතු බැවින් මෙම ක්‍රීඩකයන්ගේ දායකත්වය කිසිසේත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමත් සමග මෙම තීරණය ගැනීමට වොලිබෝල් බලධාරීන්ට සිදුව තිබේ. මේ අතර සංචිතයේ සිටි තවත් ක්‍රීඩකයන් හට ඩෙංගු වැලඳී ඇතිය යන සැකය මත ඔවුන්ගේද ඩෙංගු පරීක්ෂාව සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵල ඊයේ රාත්‍රිය වන විට ලැබෙන්නට තිබිණි.
උද්ගත තත්ත්වය මත එළැඹෙන ආසියානු ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ලබාදිය නොහැකි බව මෙකී ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය වාර්තා සමගින් ආසියානු වොලිබෝල් සම්මේලනයට ලිඛිතව දැනුම්දීමට ඊයේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.
එයට ප්‍රතිචාර ලෙසින්, සිය ඉදිරි රැස්වීමේදී ශ්‍රී ලංකාව ඉවත්වීමේ ඉල්ලීම සලකා බැලෙන බව ආසියානු සම්මේලනයෙන් දැනුම් දී ඇති අතර, යම් ලෙසකින් මෙම ඉවත්වීම සාධාරණීකරණය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවහොත් ඇමරිකානු ඩොලර් 35,000ක දඩයකට යටත්වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.-
ඉන්ද්‍රජිත් සුබසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval