Difficulties in exporting goods due to non-arrival of containers

ගෝලීය සැපයුම් දාම බිඳවැටීම සහ ආනයන පාලනය පිළිබඳ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් බහාලුම් (කන්ටේනර්) රට තුළට ඇතුළුවීම අඩු වීම නිසා ඉදිරියේදී භාණ්ඩ අපනයනයේදී දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය හැකි බව අපනයන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් ප්‍රකාශ කළේය.





සභාපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ පසුගියදා 'බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය' විසින් සංවිධානය කර තිබූ 'ශ්‍රී ලංකාවේ කොවිඩ් බලපෑමට ලක්වූ අපනයන සඳහා මැදිහත් වීම: බාධක ජය ගන්නේ කෙසේද?' මැයෙන්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

"ආනයන අඩු කිරීම බහලුම් (කන්ටේනර්) හිඟයට සෘජුවම බලපා තිබෙනවා. පොදුවේ ගත් විට බහලුම් සංඛ්‍යාවේ අසමතුලිතතාවක් ශ්‍රී ලංකාවේ පවතිනවා." යැයි හෙතෙම පැවසීය.

මෙම කරුණ නිතිපතා විවිධ ඉහළ පෙළේ සංසදයන්හිදී සාකච්ඡා කර ඇතත්, අපනයනකරුවන් සඳහා ස්ථිර විසඳුමක් මෙතෙක් නොලැබීම ගැන සභාපතිවරයා මෙහිදී කනගාටුව පළකළේය. කෝවිඩ් -19 නිසා ඇති වූ සැපයුම් දාමයේ බාධා හේතුවෙන් ගෝලීය වශයෙන්, හිස් බහලුම් සහ විශේෂිත වර්ග-ආහාර ශ්‍රේණියේ පෙට්ටි, ශීත කළ බහලුම් සහ අඩි 40 හා අඩි 20 කන්ටේනර් වැනි විවිධ ප්‍රමාණවල බහලුම් ලබාගැනීමේ දුෂ්කරතා පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

(නයන තරංග ගමගේ)