
කොරෝනාවෙන් මිය යන කළුතර නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන් සඳහා මෘත දේහ බහාලුම් පෙට්ටියක් නොමිලයේ ලබාදිය යුතු බවට කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර් මහතා (එ.ජා.ප.) ගෙන ආ යෝජනාවක් 18 වැනිදා කළුතර නගර සභා මාසික රැස්වීමේදී සම්මත විය.
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දෙනික මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එම දේහයන් ආදාහනය කර ගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් ඔවුනට සහායක් සලසා දීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත් සභාපතිවරයා මෙහිදී කීය.
මේ අතර නගරයේ කඩ සාප්පු තුනක හිමිකරුවකු කොරෝනා රෝගයෙන් මියගිය විට නොමිලේ අවසන් කටයුතු සිදුකර දෙන ලෙසට ඔහුගේ පුතා ඉල්ලීම් කළ බවත් ඒ අනුව මෙම සහනය ලබා දීම අඩු ආදායම්ලාභියෙකු බවට ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය අවශ්‍ය වන බවත් සභාපතිවරයා කීය. ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඒ මහතා ඡන්ද නොව පින් බලාපොරොත්තුවෙන් මීට දායක වන ලෙසද ඉල්ලා සිටියේය. රුපියල් 6500/-ක මිලකට මග්ගොන ප්‍රදේශයෙන්ද, උසින් අඩු පෙට්ටි රුපියල් 4000කට පානදුර ප්‍රදේශයෙන්ද ලබා ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළ විට නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා (එ.ජා.ප.) කියා සිටියේ කළුතරින් 6500ලබා ගත හැකි බවයි. උප සභාපති නීතිඥ සුනිල් පෙරේරා නාගරික මන්ත්‍රීවරුන් වන සුකුමාලි පෙරේරා, පාලිත සිල්වා, ධනුක හෙට්ටිආරච්චි, ප්‍රදීප් කරුණාමුනි, සන්ධ්‍යා එස්. වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.
-සුනිල් එස්. තන්නිආරච්චි--
Comments
Post a Comment
Your comment will be visible after approval