
-----------------------------
කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.
ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී 60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.
ජනතා ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කළහ.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : ශාමික වක්වැල්ල - ජනාධිපති මාධ්‍ය අංශය)
2021-08-13









Comments
Post a Comment
Your comment will be visible after approval