Kandy-High-School-first-year-student-goes-back-to-school-as-she-went-to-court

මහනුවර උසස් බාලිකා විදුහල් 2019 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළු කිරීමේදී එහි විදුහල්පතිනිය මෙතෝදිස්ත සභාවට අයත් නොවන සෙසු ක්‍රිස්තියානි දෙමළ මාධ්‍ය සිසුන්ට ආසාධාරණයක් කර ඇතැයි තීන්දු කළ අභියචනාධිකරණය, එම පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ප්‍රතික්ෂේප කර තිබු ක්‍රිස්තියානී දෙමළ මාධ්‍ය සිසුවියක වහාම එම පාසලට ඇතුළත් කරගන්නා ලෙස නියෝග කරමින් පිටි ආඥාවක් නිකුත් කළේය.  ඊට අමතරව එම සිසුවිය පාසලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කර තිබූ ලිපිය ද බලරහිත කරමින් අභියාචනාධිකරණය තවත් රිට් ආඥාවක් නිකුත් කළේය.  



මහනුවර, ගෙලිඔය, ගම්පොළ පාරේ ඇන්ටන් බාලසුබ්‍රමනියම් මහතා විසින් තම දියණිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ 2019 වසරේ  පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීමට එරෙහිව ගොනු කර තිබු රිට් පෙත්සමක් විභාගයට ගෙන අවසන් කරමින් මෙම රිට් ආඥාව නිකුත් කළේය.  මෙහි වගඋත්තරකරුවන් ලෙස මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු පස් දෙනෙක් නම් කරනු ලැබ සිටියහ. විනිසුරු ධම්මික ගනේපොළ මහතාගේ  එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු සෝහිත රාජකරුණා මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ ද සඳහන් වේ. පෙත්සම්කරු සිය දියණිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මහනුවර උසස් බාලිකා විදුහලේ 2019 වසරේ පළමු ශ්‍රේණියට පෙත්සම්කරුගේ දියණිය ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කර  තිබූ 10/12/2018 දරන ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුගේ දියණිය පාසලට ඇතුළත් කරන ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි. පෙත්සම්කරුගේ දියණිය 2019 වසරේ පළමු  ශ්‍රේණියට මෙතෝදිස්ත සභාවට අයත් නොවන ක්‍රිස්තියානි (දෙමළ මාධ්‍ය) පදනම සහ පාසලට ආසන්නව පදිංචි වීමේ පදනම මත අයැදුම්පතක් ඉදිරිපත් කෙරිණි. ඉදිරිපත් වූ කරුණු පරික්ෂා කිරීමේදී පළමු වගඋත්තරකරු විසින් ආසන්න පදිංචිය හා ආගම පදනම මත දෙමළ මාධ්‍ය සිසුන් තේරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි සඳහනක් කර  නොමැත. මෙය ඉතා බරපතළ වරදක් බව අධිකරණයේ හැඟීමයි.



ඒ අනුව, මෙතෝදිස්ත සභාවට අයත්  ක්‍රිස්තියානි ළමයින් හැර අනෙකුත් ක්‍රිස්තියානි නිකාවලට අයත් ළමයින් එම පාසලේ ස්ථාන වෙන් කිරීමේදී 2018/24 දරන පාසල් ළමයින් ඇතුළු කිරීමේ චක්‍රලේඛය 4.2 දරන ඡේදය පළමු වගඋත්තරකාර විදුහල්පතිනිය විසින් උල්ලංඝනය කර ඇති බව අධිකරණයේ මතයයි.  ඒ අනුව, පෙත්සම්කරුගේ දියණිය පාසලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කර තිබූ ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන බව ද පෙත්සම්කරුගේ දියණිය පාසලට ඇතුළත් කිරිම නියෝග රිට් ආඥාවක් නිකුත් කරන බව ද තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙනී සිටියේය.  නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියාය.


- තිළිණි ද සිල්වා-