Birth-marriage-and-death-certificates-online-from-today

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ග ගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම අද (2) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් ඉල්ලුම් කළ හැකි අතර, වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිත කර ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැක. 





එම සහතික ශීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවෙසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම සහතිකපත් ඉල්ලුම් කළ හැකි අතර, අවශ්‍ය තොරතුරු rgd.gov.lk වෙබ් අඩවියෙන් සහ 0112889518 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන සරලව, සුහුරුව, කාර්යක්‍ෂමව ජනතා සේය බලගැන්වීමේ වැඩපිළිවෙළ යටත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙළේ ආරම්භක වැඩසටහන වාරිමාර්ග අමාත්‍ය. රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජප්පක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (2) පෙරවරුවේ පැවැත්වේ. තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර යන මහත්වරුන් ද මෙම ආරම්භක අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

(ඩයනා උදයංගනී)