
මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක් තුළ දින හතක් පමණ නිරාහාරව විලාප නගමින් සිටි සුනඛයන් දාහතක්, බළලුන් විසිදෙනෙකු සහ ඉබ්බෙකු පොලීසිය මැදිහත්වී අදාළ නිවසින් පිටතට ගෙන ආහාරපාන ලබා දී සත්කාර කිරීමේ ආදර්ශවත් පුවතක් නිකිණි පොහොය යෙදුණු ඊයේ (22දා) මත්තෙගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ වර්ග අඩි 350ක් පමණ කුඩා නිවසක් තුළ මෙසේ සතුන් සිර වී නිරාහාරව සිට ඇති. අතර, එම නිවසේ සතුන් හදාවඩා ගත් කාන්තාවන් දෙදෙනාට කෝවිඩ් ආසාදනය වී මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම නිසා සතුන් මෙසේ නිරාහාරව සිට ඇති බව වාර්තා වේ.මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන එක් කාන්තාවක අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව ද පැවසේ.මෙසේ සතුන් නිරාහාරව දින ගණනාවක් විලාප නගමින් නිවසක් තුළ සිරවී සිටින බවට සත්වවේදිනියක වන මනෝජා වීරක්කොඩි මහත්මියට ලද තොරතුරක් අනුව ඇය ආසාදිත කාන්තාවන්ගේ ඥාතියකුගෙන් සතුන්ට ආහාරපාන ලබා දී සත්කාර කිරීමට අවසර ඉල්ලා ඇතැයි පැවසේ. එහෙත් ඊට අවසර ලබා දිය නොහැකි බවට ඥාතීන් පැවසීම නිසා ඒ පිළිබඳ මත්තෙගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සත්වවේදීනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.
ඒ අනුව මත්තෙගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කොට අදාළ නිවසේ යතුර ගෙන්වාගෙන පොලීසිය මැදිහත් වී දොරගුළු විවෘත කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබා දීමට පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාව වනවිට නිවස තුළ සුනඛයන් දාහතක්, බළලුන් විස්සක්, එක් ඉබ්බෙකු සිටි අතර බළලුන් දෙදෙනෙකු මිය ගොස් සිටි බවද සත්වවේදීනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.
මේ අතර ඉතා අපිරිසිදු තත්වයේ තිබු නිවස සම්පූර්ණයෙන්ම සෝදා පිරිසුදු කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබා දී සත්කාර කිරීමට පැමිණ සිටි පිරිසට පියවර ගත්තා. ඒ අනුව රෝගී කාන්තාවන් දෙදෙනා සුව වී නිවසට පැමිණෙන තෙක් දිනපතා නිවෙස පිරිසුදු කොට සතුන්ට ආහාරපාන ලබා දීමට ඥාතීන්ගේ කැමැත්ත මත සත්වවේදිනි මනෝජා වීරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසට පොලීසිය අවසර ලබා දුන්නේය. මත්තෙගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න, සත්වවේදිනී මනෝජා වීරක්කොඩි, අර්ජුන වික්‍රමසිංහ, සූ.විජේකුලසූරිය, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(මත්තේගොඩ - ශාන්ත කුමාර කුලරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval