sri lanka covid spread daily update

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 




අම්බලන්ගොඩ

 අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා විසිපන් නමක කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම ස්වස්වාමීන් වහන්සේලා පෙරේදා (22) සහ ඊයේ (23) දෙදින තුළ ප්‍රතිකාර සඳහා  අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව පොල්වත්ත රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසුවේය. මෙම ස්වාමීන් වහන්සේල්ලා ආරණ්‍ය   සේනාසනයේදී ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු කොරෝනා ආසාදනය වී ඇති බවද හෙළිවී තිබේ.

 අලුත්ගම
 අලුත්ගම පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු  කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.  මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු එම පවුලේ 7 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද පොලිසිය පවසයි.  එලෙස කොරෝනා ආසාදිත නිවෙස් හිමි පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ අවසන් කටයුතු මරණ පරික්ෂකවරයාගේ අධීක්ෂණයෙන් සෞඛ්‍ය අංශ හා අලුත්ගම පොලිසිය මැදිහත්ව අලුත්ගම ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සෞඛ්‍යාරක්ෂිත සිදු කළ බව කියයි.


මීගමුව

මීගමුව මහනගර සභාවේ හිටපු එ.ජා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  නාගරික මන්ත්‍රීවරයකු වූ උතුරු පිටිපන අළුත්කූරුවේ පදිංචිව සිටි ඇලිසන් ජයකොඩි (65) මහතා කොවිඩ් ආසාදිත වී මියගොස් ඇත. මේ බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි තහවුරු කළේය.  හිටපු නාගරික මන්ත්‍රී කැලිසන් ජයකොඩි මහතා වසර 40කට ආසන්න කාලයක් වත්තල සහ මීගමුව මහනගර සභාවල එ.ජා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයකු සිටි  අයෙකි. කලක් නගර සභාවේ විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කළ අයෙකි.


ගාල්ල
 කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉඩකඩ නොමැතිවීම නිසා නිවෙස වෙත පිටත්කර යවා සිටි කොවිඩ් ආසාදිත තිදරු පියකු නිවෙසේ සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වී නැවත රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය විය.  මියගොස් ඇත්තේ ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.

කොවිඩ් පළමු මාත්‍රාව ද මෙකී තිදරු පියා ලබාගෙන ඇති අතර මොහු කාලයක සිට දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි රෝග සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකි. මොහුට හෘද රෝගී තත්වයක් ද තිබී ඇත. කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාව නිසා ඉකුත් 12 වැනි දින මොහු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකරගෙන ඇති අතර එහිදී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටු රෝගීන්ගෙන් පිරීගොස් ඇති නිසා මොහු නිවෙස වෙත පිටත්කර යවා ඇත. නිවෙසේ සිටියදී කැස්ස වැඩිවී හුස්ම ගැනීමට අපහසුවීමෙන් මෙකී තිදරු පියා 20 වැනි දින රෝහලට ඇතුළත් කොට ඇත. රෝලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 22 වැනිදා මියගොස් ඇත.

මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා විසින් සිදුකරනු ලැබීය.


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 24ක කාලය  තුළ නව කොවිඩ් ආසාදිත රෝගීන් 59 දෙනකු හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.  හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතර ළමුන් 08 දෙනකු සිටින බව ද වැඩ බලන රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ රෝහල මගින් පාලනය වන අක්මීමන මැලිබන් රෝහලේ කොවිඩ් ආසාදිතයන් 157 දෙනකු ප්‍රතිකාර ලබන බව ද වැඩ බලන  රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.


මැලිබන් රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 11 දෙනකු හා එම දරුවන්ගේ මවුපියෝ 10 දෙනෙක් ප්‍රතිකාර ලබති. අතරමැදි වෛද්‍ය ප්‍රතිකාරය මධ්‍යස්ථාන සඳහා කොවිඩ් ආසාදිත රෝගීන් 14 දෙනකු යොමු කොට ඇත. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනකු ඔක්සිජන් ආධාරක යටතේ ප්‍රතිකාර ලබන බව ද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැල්ලව

 වැල්ලව බුදනාපිටිය ප්‍රදේශයේ යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක ඉන්දියන් ජාතික සේවකයන් 25 දෙනකුට  කොවිඩි වැළඳී ඇති බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් පෙරේදා (22) තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.  ඉන්දියන් සමාගමකට අයත් යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඉන්දියන් ජාතික සේවකයන් 50 දෙනකු සිටින බවත් ඔවුන් සියලු දෙනාටම සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී සේවකයන් 25 දෙනකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීමත් සමග රෝගීන් සියලුදෙනා දඹදෙණිය  කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. යකඩ කර්මාන්තශාලාවේ අනෙක් සේවකයන් 25 දෙනා නිරෝධායනයට යොමු කළ බවත් තාවකාලිකව කර්මාන්තශාලාව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

සපුගස්කන්ද
සපුගස්කන්ද පොලිස් බලප්‍රදේශය තුළ ඉකුත් 13 වැනිදා සිට පෙරේදා (22) දක්වා වූ දින 10 ට කොරෝනා වයිරසය ආසාදනය වී පුද්ගලයන් විසි දෙදෙනකු (22) මියගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.  ඉන් දහතුන් දෙනකු (13) පිරිමි පුද්ගලයන් වන අතර නව  දෙනකු (9) කාන්තාවන් වන බව ද පොලිසිය සඳහන් කරයි.  මෙහිදී වයස අවුරුදු 37 එක් අයකු හා වයස අවුරුදු 52  එක් අයකු මියගොස් තිබෙන අතර සෙසු සියලු දෙනාම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන බවත් පොලිසිය කියයි.


මධ්‍යම පළාත

මධ්‍යම පළාතට අයත් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ්-19 වයිරසය ආසාදිත මරණ 1251 ක්  ඊයේ (23) වනවිට වාර්තතා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.  කොවිඩ්-19 වයිරසය ආසාදිත වී සිදුව ඇති මෙම මරන්න 1251 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 771ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 263ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 218ක් වශයෙන් මෙම මරණ 1234 අයත් බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මොනරාගල
කොරෝනා වයිරස ආසාදනය වීමෙන් බඩල්කුඹුර, සියඹලාණ්ඩුව සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයන් තිදෙනකු පෙරේදා (22) මියගොස් ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවැසීය. බඩල්කුඹුර මීගහමඩ පදිංචි හැත්තෑ හැවිරිදි පුද්ගලයකුද, සියඹලාණ්ඩුව ඇතිමලේ 50  කොටසේ පදිංචි 82 හැවිරිදි පුද්ගලයකුද, මඩුල්ල කහගොල්ල පදිංවි හැත්තෑපස් හැවිරිදි පුද්ගලයකු ද මෙලෙස මියගොස් ඇත. මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 10,193 කි. මොනරාගල දිස්ත්‍රික්කයේ මියගිය මුළු කාවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 65 කි. පෙරේදා (22) දින හමුවී ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 244 කි.


දකුණු පළාත

 දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට යන  දිස්ත්‍රික්ක තුනෙන් පෙරේදා (22) අලුතෙන් හඳුනා ගත් 1352ත් සමග දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45,153 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මදන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවැසීය. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 594ක්, මාතර  දිසාවෙන් ආසාදිතයන් 317ක්, හම්බන්තොට දිසාවෙන් ආසාදිතයන් 372ක්, මාතර රෝහලෙන් ආසාදිතයන් 28ක්, කඹුරුපිටිය රෝහලෙන් ආසාදිතයන් 18ක්, කරාපිටිය රෝහලෙන් ආසාදිතයන් 15ක් සහ බලපිටිය රෝහලෙන් ආසාදිතයන් 3ක් වශයෙන් මෙම ආසාදිතයන් 1352 හඳුනාගෙන තිබේ.





කළුතර

වයස අවුරුදු 27ක් වූ හත් මස් ගැබිණි මවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇත.  කළුතර නාගොඩ මහ රෝහලේදී මෙසේ මියගොස් ඇත්තේ උතුරු කළුතර නිග්‍රෝධාරාම පාරේ පදිංචිව සිටි ගිංතොට විදුහලාගේ නයනි සඳමිනි සිල්වා නම් වූ කාන්තාවකි.  කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීය.

හික්කඩුව

හික්කඩුව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ බව කියන 8කට කොරෝනා ආසාදනය වීම නිසා එම ආසාදිතයගේ පවුල සාමාජිකයන් 24ක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.  කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මෙම විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර එම විවාහ මංගල උත්සවයට සහභාගි වූ පිරිසෙන් 8 දෙනකු ඔවුන් විසින්ම කරවා ගන්නා ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී එම 8ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා විසින් එම ආසාදිතයගේ පවුල 24ක් මෙසේ නිරෝධායනයට යොමුකොට තිබේ.


කඑතර

කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 23ක් පෙරේදා (22) වාර්තා විය. පොලිස් වසම් මට්ටමින් මරණ වාර්තා වූයේ මෙසේය. ඒ හොරණින් 03 ක්, අඟුරුවාතොටින් 01 ක්, පානදුර දකුණින් 02 ක්, බණ්ඩාරගමින් 03 ක්, පාදුවෙන් 04 ක්, පානදුර උතුරින් 02 ක්, හිරණින් 01 ක්, මිල්ලනියෙන් 02 ක්, කළුතර දකුණින් 02 ක්, කළුතර උතුරින් 02 ක්, බේරුවලින් 01 ක් වශයෙනි.


රිදීමාලියද්ද

කොවිඩ්-19 ආසාදිත පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 27ක් රිදීමාලියද්ද පොලිස් වසමෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ ඊයේ (23) පැවැසීය.  මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන ඇකියන්කුඹුර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු සහ ආඳාඋල්පත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් අටදෙනකු, ඇකියන්කුඹුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් සිවු දෙනකු, කුඩාලුනුක ප්‍රදේශයේ දෙදෙනකු රිදීමාලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් පස්දෙනකු, කන්දේගම ප්‍රදේශයේ එක් අයකු, පෙතියාගොඩ එක් අයකු, දියකොබල ප්‍රදේශයේ එක් අයකු, ඌරණීය ප්‍රදේශයේ තිදෙනකු සමඟ  කුරුවිතැන්න ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයකු මෙසේ සිදුකළ ඇන්ටිජන්, පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණය විණැයි සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

නුවරඵළිය

 ගතවූ පැය 24ක කාලය තුළදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ්-19 ආසාදිතයන් 302 දෙනකු හමුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියෙක් පැවැසුවේය..  මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පැවැසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය  වෛද්‍ය කාර්යාල වන අඹගමුව ආසාදිතයන් 17 ක්, බගවන්තලාව ආසාදිතයන් 08 ක්, කොටගල ආසාදිතයන් 61 ක්, කොත්මලේ ආසාදිතයන් 77 ක්, ලිදුල ආසාදිතයන් 06 ක්, මස්කෙළිය ආසාදිතයන් 01 ක්, මතුරට ආසාදිතයන් 01 ක්, නුවරඑළිය ආසාදිතයන් 09 ක්, නව තිස්පන්නේ ආසාදිතයන් 44 ක්, රාගල ආසාදිතයන් 14 ක්, වලපන්නේ ආසාදිතයන් 49 ක් හා නුවරඑළිය මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයන් 90 ක් වශයෙන් හමුව ඇති බවත්ය.

හබරාදූව

 හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොවිඩ් එන්නත් කිසිදු මාත්‍රාවක් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් 300 දෙනකු පමණ සිටින බැව් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. කෙසේවුවද මේ වනවිට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් 53,000ක් සඳහා කොවිච් එන්නත්තේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව ද ඒ මහතා පවසයි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 99.99 ක් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

කටාන

 කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 16 වැනිදා සහ 18 වැනිදා සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 156කදී ඉන් 86 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් ලෙස ඊයේ (23) හඳුනාගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති මෙන්ම කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවැසීය.

නුවරඑළිය

නුවරඑළිය මහ රෝහලේ 23 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවැසීය. වෛද්‍යවරුන් 03 ක්, හෙදියන් 13 ක්, කනිෂ්ට කාර්ය මණ්ඩලයේ 07 ක් ඒ අතර වේ.
ආසාදිත දෙදෙනකු රෝහලේ කොවිඩ් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සෙසු ආසාදිතයන් ඔවුන් පදිංචි නිවාසවලම නිරෝධායනය කර ඇති බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
මේ හේතුව නිසා නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සේවකයන්ගේ අඩුවක් පවතී. කොවිඩ් ආසාදනය වූ 23 දෙනා නොමැතිව දැනට සේවයේ යෙදී සිටින අයගෙන් රෝහල් කටයුතු කරගෙන යයි. රෝහලේ සියලුම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොවිඩ් 19 මර්දන එන්නත ලබා දී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.


යක්කලමුල්ල

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම එන්නත්කරණය කොට තිබූ තිදරු මවක් හා හැට හැවිරිදි වියේ පසු වූ විවාහකයකු කොවිඩ් නිව්මෝනියාවෙන් නිවෙස් තුළ දී මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය හික්ෂණ රෝහලේදී පෙරේදා (22 වැනිදා) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. මියගොස් ඇත්තේ යක්කලමුල්ල, තෙල්ලඹුර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි තිදරු මවක් හා අහංගම විස්කම් මාවතේ පදිංචි විවාහකයෙකි.

මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරනු ලැබීය. මියගිය තිදරු මව අංශභාගය රෝගය වැලඳී වසර හයක පමණ කාලයක සිට නිවසේ එක්තැන්ව සිට ඇත. ඇය දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇත. සෙම ගතිය වැඩි වී එකවරම හුස්ම හිරවවී නිවසේ සිටියදී මියගොස් ඇත. 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දී තිබුණද ගිලන් රථයක් පැමිණ නොතිබූ බව හදිසි මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේදී අනාවරණ විය.

මියගිය අනෙක් පුද්ගලයා ද දැනට වසර 15 ක පමණ සිට දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි රෝගවලින් පෙළී ඇත. ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත. කොවිඩ් දෙවැනි මාත්‍රාව පසුගිය 14 දින ලබාගෙන ඇත. සෙම්ගතිය වැඩිවීම නිසා වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. නිවසේ සිටියදී මියගොස් ඇත.



බදුල්ල

කොවිඩ් මරණ ඉහළ යෑමත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ආදාහනාගාරවල කොවිඩ් මරණ ආදාහනය සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඩී. එම්. ඒ. ආර්. දිසානායක පවසයි.

ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, දෙමෝදර, හල්දුම්මුල්ල, පස්සර, මහියංගණ, බදුල්ල යන ආදාහනාගාර නවයක් තිබේ. ඒ අනුව දිනකට ආදාහනය කළ හැක්කේ මරණ 27 කට අඩු සංඛ්‍යාවකි.

කොවිඩ් නොවන මරණද ආදාහනය කරන බැවින් දෛනිකව කොවිඩ් මරණ ධාරිතාව 27 ඉක්ම වූ විට ආදාහනාගාරවල ඉඩකඩ වෙන් කර ගත නොහැකි වේ. ඒ නිසා කොවිඩ් නොවන මරණ මේ දිනවලය ආදාහනය කිරීම වළක්වා ඒවා භූමදානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවද දිසානායක සඳහන් කරයි.

පුත්තලම

පුත්තලම දිස්ත්‍රික්කයෙන් පෙරේදා (22 වැනිදා) තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 77 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. හලාවත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු වාර්තා වී ඇති අතර මාදම්පේ පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුද ඒ අතර වේ.
කල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 02 ක් සහ පුත්තලම ප්‍රදේශයෙන් ආසාදිතයන් 45 ක් වාර්තා වී ඇත. මේ අතර දංකොටුවෙන් ආසාදිතයන් 04 දෙනකු සහ මාරවිල ප්‍ර​දේශයෙන් ආසාදිතයන් 05 දෙනකු ද වාර්තා වී තිබේ.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් අයකුට 22 වැනිදා රාත්‍රියේ මියගොස් ඇත. ඔහු පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොටගල
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වතු පහකින් කොවිඩ් ආසාදනය වූ නව ආසාදිතයන් 54 දෙනකු පෙරේදා (22 වැනිදා) හඳුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් පැවසීය. පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 92 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 54 දෙනා හඳුනාගෙන ඇත. එම ආසාදිතයන් කොටගල මේෆීල්ඩ් වතු යාය, යුනිෆිල්ඩ් වතු යාය, ක්‍රිස්වස්ෆාම්, තලවකැලේ, හොලරුඩ් යන වතුවලින් හමු වී තිබේ. ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ආසාදිතයන් ඔවුන් පදිංචි නිවාසවලම නිරෝධායනයට යොමු කර ඇත.