විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට තිබෙන නමුත්, තමා මෙවර ලෝක කුසලානය දිනාගැනීමේ පළමු කණ්ඩායම් 03 අතරට ඉන්දියාව, එංගලන්තය.සහ පාකිස්තානය නම් කරන බව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පවසයි. 



ඉන්දියාව සහ එංගලන්තය ඉතා ශක්තිමත් කණ්ඩායම් දෙකක් බවත්, ඔවුන්ට මෙවර තරගාවලිය ජයගැනීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බවත්, පාකිස්තානයද ඉතා තරගකාරී පුරෝකථනය කළ නොහැකි කණ්ඩායමක් ලෙස පෙන්වා දිය හැකි බවත් ගිබ්ස් වැඩිදුරටත් පවසයි.එමෙන්ම මෙම ප්‍රධාන කණ්ඩායම් ත්‍රිත්වයහැරුණු විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයද බැහැර කළ නොහැකි කණ්ඩායම් බව හර්ෂල්හි බ්ස්ගේ මතයයි."අනිවාර්යයෙන්ම මම කියන්නම් එංගලත්තය, පාකිස්තානය සහ ඉන්දියාවට වැඩි වාසි තිබෙනවා. ඒ කෙසේ වෙතත් අනපේක්ෂිත ආකාරයෙන් තරග වෙනස් කළ හැකි කණ්ඩායම් 02ක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හඳුන්වා දෙන්න පුළුවන්.



එහෙත් මම නිසැකවම සිතන්නේ මේ වනවිට පාකිස්තානය, ඉන්දියාව සහ එංගලන්තයට අවස්ථාව වැඩියි. එය කෙබඳු වේද යන්න තණතීරුවේ ස්වභාවය මත රඳා පවතිනු ඇති" යනුවෙන් ගිබ්ස් පවසයි. කෙසේ වෙතත්, තණතීරුවේ. ස්වභාවය අනුව බොහෝ දේ තීරණය වනු ඇති බවත්, පන්දුව දඟකැවෙන ස්වභාවයක් පැවතුණහොත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම අසීරු වනු ඇති බවත් ඔහුගේ අදහසයි. "පාකිස්තානයේ අනපේක්ෂිතභාවය සැමවිටම මිශ්‍රව පවතීවි. පැහැදිලිවම ඉන්දියාව සහ එංගලන්තය ශක්තිමත්.

එහෙත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එතරම් අනතුරුදායක වනු ඇතැයි මම සිතන්නේ නැහැ. මන්ද පන්දුව දඟකැවෙන ස්වභාවයක් පැවතුණහොත් එය ඔවුනට අවාසියක් වේවි" යැයි හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වැඩිදුරටත් පවසයි. මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී ඔක්තෝබර් මස 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

(සුරේෂ් දේශාන්)