sri-lankans-olympic

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු මූලික තරඟයට අද (24) පස්වරුවේ එක්වූ ජාතික ශුර නිලූක කරුණාරත්න පරාජයට පත් විය.
ඔහු තරඟ වැදුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ රැඳී සිටින චීන-තායිපේ ක්‍රීඩක Wang Tzu-Wei සමගිනි.


එහිදී වට 2-0ක් ලෙස තරඟය ජයගැනීම⁣⁣ට Wang සමත් විය.
ලකුණු තත්ත්වය දැක්වුණේ 21-12 සහ 21-15ක් ලෙසයි.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 114 වන ස්ථානයේ රැඳී සිටින නිලූක කරුණාරත්න සහභාගී වන මූලික වටයේ දෙවන තරඟය ලබන 26 වනදා අයර්ලන්ත ක්‍රීඩක Nguyen Nhat (ලෝක ශ්‍රේණිගත කිරීම්හි 53 වන ස්ථානය) සමග පැවැත්වෙයි.

මීට අමතරව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග අද අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32  වන ස්ථානයයි.



එම පිහිනුම් ඉසව්වේ පළමු මූලික  වටයේ දී අනිකා ගෆූර් දෙවැන්නා ලෙස තරග නිම කළේ විනාඩියයි තත්පර 05යි දශම 3යි 3 දක්ෂතාවක් වාර්තා කරමින්.

මූලික වටයේ තරග  5කින් සමන්විත වූ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සදහා  ක්‍රීඩිකාවන් 33 දෙනෙකු එක් වූ අතර හොදම කාලගණනයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් 16 දෙනා එම පිහිනුම් ඉසව්වේ අවසන් පූර්ව  වටයට තෝරාගත් නිසා  අනිකා ගෆූර්ට එම තරගයෙන් ඉවත්වීමට සිදුවිය.