mother-death-covid19

කොරෝනා ආසාදිතව සිටි ගැබිනි මවක සිසේරියන් සැත්කමකින් කළ දරු ප‍්‍රසුතියෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා නිව්මෝනියාවෙන් මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය.
 
 මෙකී මව සොයිසා නිවාස, රාගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියකි. ඇය තම තෙවන දරු ප‍්‍රසුතිය සඳහා සුදානමින් සිටියදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බැව් පීසීආර් පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.



 හෝමාගම රෝහලේදී කරණු ලැබූ සිසේරියන් සැත්කමකින් දරු ප‍්‍රසුතිය සිදුකර ඇත. සිසේරියන් සැත්කමින් ලබාගත් දරුවාගේ වයස මාස 07කි. ප‍්‍රසූතියෙන් පසු ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවූ බැවින් හෝමාගම රෝහලින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයට මාරුකොට ඇත.
 
 මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පෙරේදා (22* ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබීය. එහිදි මියගිය මවගේ සැමියාවන අලගියදුර විරාජ් සුරංග ප‍්‍රනාන්දු (37) මහතා හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
 
 මියගොස් සිටින්නේ මගේ බිරිඳයි. මගේ අම්මා තාත්තා හා දරුවන් එක නිවසක පදිංචිවෙලා ඉන්නේ. මට අවුරුදු 10 දුවෙක් හා අවුරුදු 06ක පුතෙක් ඉන්නවා. බිරිඳට බබෙක් ලැබෙන්න හිටියා දරු ගැබට මාස 07ක් වෙනවා. දැනට මාස 02කට කලින් බිරිඳට ඩෙංගු උණ වැළදුනා. ඩෙංගු හැදිලා හොඳවුණා. ඊට පස්සේ ගිය මාසයේ 26වැනිදා ඇඟ රිදෙන්න වගේ ගත්තා. හතිය වගේ ආවා. ඒ අවස්ථාවේ කරපු පීසීආර් පරීක්ෂණය පොසිට්ව් වුණා. මේ සිද්ධිය අප ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියට කීවා. ඇයගේ උපදෙස් මත බිරිඳ රාගම රෝහලට ඇතුළත් කළා. රාගම රෝහලින් හෝමාගම කොවිඩ් රෝහලට මාරුකොට යැව්වා. හෝමාගම රෝහලේ දී බිරිද සිසේරියන් සැත්කමකට භාජනය කොට බබා ගත්තා.



 හෝමාගම රෝහලින් කථාකරලා මට කීවා බිරිඳට අමාරුයි ගාල්ල කරාපිටිය රෝහලට මාරුකරනවා කියලා. බිරිඳ කරාපිටිය රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකය වෙත ඉකුත් 08 වැනිදි න ඇතුළත් කළා. බිරිඳ සුව අතට හැරෙමින් තිබුණා. මාත් සමග කථාබහත් කළා. දිනකට පමණ පසු බිරිඳට උණ ගත්තා. රෝහලින් පරීක්ෂණ වගයක් කරලා කීවා වකුගඩුවලට විෂබීජයක් ගිහින්. විෂබීජය ලේවලටත් ඇතුල් වෙලා කියලා. බිරිඳ මගේ දුරකථනයට මැසේජ් එකක් දමලා තිබුණා. එයාට දැන් ගොඩක් අමාරුයි. ලේ මාරුකරනව කියලා. ඔයගොල්ලන් දෙවියන්ට යාඥා කරන්න කියලත් කියලා තිබුනා.
 
 21 වැනිදා රාත‍්‍රි 7.00 විතර බිරිඳ බලන්න කරාපිටිය රෝහලට ආවා මා ඇවිත් ඉන්නවා බිරිඳ දැක්කා. ඇය මට අත වැනුවා. බිරිඳට අමාරු බව දොස්තර මහත්වරු මට කීවා. මා ගෙදර ගියේ නැහැ රෝහලේම හිටියා. රෝහලින් අළුයම 2.53ට විතර දුරකථන ඇමතුමක් ඇවිත් තිබුනා. මා එය දැක්කේ නැහැ. රෝහලට කෝල් කරලා ඇසුවා එවිට කීවා ලෙඩාට අමාරුයි එන්න කියලා. රෝහලට ගිය විට දැන ගත්තා බිරිඳ මිය ගිය බව.
 
 පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු. සී. පී. පෙරේරා මහතා විසින් සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා කොවිඞ් නිව්මෝනියාවෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.
 
 (ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල )