maththegoda-kudda-nabbed

අන් අයකු නමින් පෙනී සිට මත්තේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථාන 11 කින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ දේපළ සොරාගෙන හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන සිවුරු දැරු පුද්ගලයකු කොළඹ කෙසෙල්වතත් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය කියයි.  හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් තුන්සීයක්, සොරාගත් ජංගම දුරකතනවලින් තුනක්,  වෙනත් පුද්ගලයකුගේ ජාතික හැඳුනුමතක ඡායා පිටපතක් මෙන්ම පෙන්ඩ්‍රයිව් දෙකක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.



ඉකුත් මාස තුනක පමණ කාලය  තුළ බස්නාහිර පළාතේ  විහාරස්ථාන රැසකට ඇතුළු වී එහි ආවාස ගෙවල්, දේවාල මෙන්ම පිං කැට කඩා මුදල් ඇතුළු දේපළ  සොරාගැනීම සම්බන්ධයෙන්  පොලිසිවලට ලද පැමිණිලි ඉහළ යාමත් සමගම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය. විවිධ ප්‍රදේශවල විහාරස්ථාන 11ක දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි.  සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ  එකම විහාරස්ථානයකට අවස්ථා  දෙකකදී මෙන්ම මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අවස්ථා තුනකදී ඇතුළු වී සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.

මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානකින් ඉකුත් අප්‍රේල් මස සැකකරු විසින් ජංගම දුරකථන හතරක්, පෙන්ඩ්‍රයිව් 15ක් මෙන්ම රුපියල් 25,000ක මුදලක්  සොයාගෙන තිබූ බවත් සැකකරු එම දේපළ සොරා ගන්නා අයුරු එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි.  සැකකරු එයාකාරයෙන් සොරාගත් සියලුම දේපළ වැල්ලවත්ත, අලුත්කඩේ සහ  කෙසෙල්වත්ත ආදී ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත්කර ඒ වෙනුවෙන් මත්කුඩු ලබාගෙන පානය කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ ප්‍රකාශ මත එකී පුද්ගලයන් සොයා ගියත් බහුතරයක් දෙනා මත්කුඩු ජාවාරම සහ වෙනත් වැරැදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව තිබීම හේතුවෙන් එම දේපළ සොයාගැනීම ගැටලු  සහගත තත්වයකට පත්ව ඇති බව පොලිස් නිලධාරියෙක් කීය.  පිටකොටුව සහ මහරගම අතර මහාමාර්ග දෙපස සෙල්ලම් බඩු විකිණීමේ යෙදී සිටි බව කියන සැකකරු මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.

  බිමල් ශ්‍යාමන් ජයසිංහ