45,400 children under the age of 18 are in slavery in Sri Lanka

වයස අවුරුදු 18ට අඩු ළමයින් 45,400 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බළකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට එකකි.   මෙම පිරිස අතරින් ළමා ශ්‍රමිකයන් වැඩිම සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු ආසියාතික රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාව ළමා ශ්‍රමය යොදා ගැනීම අතින් සතුටුදායක තැනක සිටින නමුත් රටක් ලෙස සතුටු විය නොහැකි යැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා  පැවසීය.



2022 වසර ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටු දැකීම වසර ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම් කරනු ලැබ ඇති බවද චන්ද්‍රකීර්ති මහතා කීය. ඒ අනුව ලබන වසර අවසන් වනවිට ගණිකා වෘත්තිය, අසභ්‍ය වීඩියෝ පට වලට පෙනී සිටීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී නරකම ආකාරයේ කටයුතු වලට ළමයින් යොදවා ගැනීම සම්පුර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට ජාත්‍යන්තර කම්කරුවන් සංවිධානය සමග ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ ඇති බවද හෙතෙම සඳහන් කළේය.  එමෙන්ම, 2025 වසර වනවිට ළමා ශ්‍රමය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට ද එම සංවිධානය සමග එකඟතාවකට ආ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කීව්වේය.

 -විනිතා එම්. ගමගේ-