kusal-dhanushka-dikwella-ban

එංගලන්ත තරගාවලියට එක්ව සිටියදී ජෛව ආරක්ෂක බුබුළ බිඳ දැමූ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙත පනවා ඇති තහනම් හා දඩ පිළිබඳව විමර්ශන කමිටුවේ වාර්තාවේ දැක්වුනේ කුසල් ධනුෂ්ක දෙන්නාට වසර 2 ක් හා දික්වැල්ලට වසර එකහමාරක් තරග තහනම් කළ යුතුබවටය.


එම වාර්තාව සැලකිල්ලට ගෙන තහනම අවසානයේ පැනවීම ක්‍රිකට් විධායක සභාව මගින් තීරණය කරන්නට නියමිතව තිබූ අතර අද ඔවුන් රැස්වී අවසාන දඩුවම තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් කමිටුවේ වාර්තාව නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගත් තීරණ පහත දක්වා ඇත.

*ක්‍රීඩකයන් තිදෙනාටම රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක්
*වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්.
*වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමින් පසුව ඔවුන්ට තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති අතර එම තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ.
*ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයක්  


ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දැක්වූ දායකත්වය සලකා බලමින් මෙම වෙනස්කම් සිදු කළ බව දන්වා ඇත.
මින් ඉහත කමිටුව විසින් කුසල්ට හා ධනුෂ්කට ඩොලර් 25000 (ලක්ෂ 50) ක් හා වසර 2ක තහනමක්ද දික්වැල්ලට මාස 18 ක තහනමක් සමග ඩොලර් 25000 (ලක්ෂ 50)ක දඩයක් නියම කර තිබුණ අතර
 ක්‍රිකට් විධායක කමිටුව විසින් එම දඩුවම ලිහිල් කර තිබේ. තහනම් කාලය අඩුකර දඩය රු ලක්ෂ 50කින් වැඩි කර තිබේ.