internet-clips-investigation

දරුවන් යොදාගෙන සකස් කළ අසභ්‍ය  හා අශ්ශීලි දර්ශන ඇතුළත් ඡායාරූප හා විඩියෝ පට 17,629ක් පසුගිය දින 40 ක පමණ කාලය ඇතුළත අන්තර්ජාලයට එක්කර තිබෙන බව  පරීක්ෂණයකින් හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.   බාල වයස්කාර දරුවන් යොදාගෙන සකස් කළ මෙවැනි දර්ශන ඇතුළත් වීඩියෝ හා ඡායාරූප දුරකතන ටැබ් හා පරිගණක ආශ්‍රයෙන් අන්තර්ජාලයට එකතු කර තිබෙන බවද  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පැවැසීය.  ඉකුත් ජුනි මස 17 වැනිදා සිට පෙරේදා දක්වා කාලය තුළදී මෙය සිදුවී ඇති බවද ඔහු කීය.  



මෙවැනි දර්ශන හා වීඩියෝ පට අන්තර්ජාලයට එකතුකළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ (29) සිට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ආරම්භ කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.  දරුවන් සම්බන්ධව අශ්ශීල අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයට එකතුකරන පුද්ගලයින් ඒවා දැමු සැණින් හඳුනාගැනීමට විශේෂ  ඒකකයක් පසුගිය මාසයේ 17 වැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කළ බවද ඔහු සඳහන් කළේය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ එම විශේෂ ඒකකය හා රහස් පොලිස් ඒකාබද්ධව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-