india-bio-bubble

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා පිටස්තර පුද්ගලයන් රැසක් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවත්, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතු වී ඇති බවත් අනාවරණය වේ.  ඔවුන් එහිදී ගත් ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ පළ කිරීමෙන් ඊට සාක්ෂි සපයන බවද වාර්තා වේ. අවම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් නිර්දේශ අනුව ක්‍රීඩාංගණයේ කටයුතු කිරීමට හෝ එම පිටස්තර පුද්ගලයන් කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. ඔවුන් තරගය නරඹන විට මුව ආවරණ පැලඳ නොසිටීම සහ ඔවුනට තරගය ක්‍රීඩාංගණයට විත් නැරඹීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙවැනි නොසැලකිලීමත් පිරිස් ක්‍රීඩාංගණයට පැමිණීම සහ ඔවුන් කටයුතු කළ ආකාරය එනම් වගකීම් විරහිත බව හේතුවෙන් ජේ ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇතැයි පිරිසක් චෝදනා කරයි. මීට අදාළව එක් නිදසුනක් ලෙස ක්‍රීඩාංගණයට විත් තරගය නැරඹූ එක් පුද්ගලයෙක් ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාද තරග නැරඹීමට හිමිකම් කීවේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

එමෙන්ම ඔවුන් මුහුණු ආවරණ පැලඳ නොසිටියේ ඇයිද යන්නත්, ඔවුනට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදු නොකර තිබීමත් විමතිය දනවන්නකි. මෙම තරගය ආවරණය කරන මාධ්‍යවේදීන්ට පවා පී.සී.ආර් ටෙස්ට් 02ක් සහ තරගය පැවැත්වෙන දිනයේ ඇන්ටිජන් පරික්ෂාව අනිවාර්ය කර තිබූ අතර, මෙම පුද්ගලයන් ක්‍රීඩාංගණයට පැමිණ ඇත්තේ එම පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමෙන්ද යන්න ඇත්තේ ගැටලුවකි.

 මීට අමතරව ශ්‍රී ලංකා - ඉන්දීය පළමු විස්සයි. 20 තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කෝවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මාධ්‍ය කුටියේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබුණි. එම සේවකයාට සිදුකළ 'ඇන්ටිජන් පරීක්ෂාවෙන්' (ප්‍රතිර්දේහ පරික්ෂණයේදී )ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. මේ ආකාරයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කොවිඩ් -19 පැමිණීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එම අවදානමට තල්ලු කිරීමේ වගකීම ගන්නේ කවුරුන්ද ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා 100කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, ඔවුනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ බලපෑවේ නැතිද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍ය හට කෝවිඩ් -19 ආසාදනය වීම මේ ආකාරයෙන් පිටස්තර පුද්ගලයන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් වන අතර, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති වීම කනගාටුවට කරුණකි.

(පැතුම් ශ්‍රී විජේරත්න)