express-pearl-data-loss

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට කොළඹ වරාය මෙහෙයුම් මැදිරියට එවූ පණිවිඩ සම්බන්ධ දත්ත මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
 
කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ VTMS දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇතැයි එම මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ ප්‍රකාශ කර ඇත.



අදාළ දත්ත පද්ධතියෙහි පටිගත වී ඇති දත්ත අතරින් මැයි 01 වනදා සිට ජුනි 10 වනදා දත්ත මැකී ගොස් ඇතැයි කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය පවසන හෙයින් ඒ සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නෞකාවේ කපිතාන්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙරට වරාය බලධාරීන් හිතා මතාම නෞකාවේ ගින්න පාලනය කිරීමට මැදිහත් නොවූ බවට සැකයක් ඇති බවයි. එම නිසා නෞකාවේ පටිගත දත්ත පමණක් නොව නෞකාව සමඟ මෙරට වරාය සිදු කරනු ලැබූ සම්පූර්ණ සංවාද අධිකරණය හමුවට කැඳවන ලෙසයි. කපිතාන්වරයා අධිකරණය හමුවේ එසේ ප්‍රකාශ කිරීමෙන් පසුව කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ VTMS දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී යෑම සිදුව තිබේ