double-dose-kandy

මහනුවර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ ඊයේ (21) දිනයේදී එන්නත ලබා ගැනීම සඳහා උඩපේරාදෙනිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයට ගිය කාන්තාවකට මොඩර්නා කොවිඩ් එන්නත් දෙකක් ලබාදුන් බව පවසා එම කාන්තාවගේ සැමියා පේරාදෙණිය පොලිසියට පැමිණිලිකර තිබේ.



එන්නත් දෙකක් ලබාදුන් බව කියන කාන්තාව අදාළ ස්ථානයේදී ක්ලාන්තව රෝගී තත්ත්වයට පත්වීමෙන් පසු එහි සිටි සෞඛ්‍ය සේවකයන් විසින් මූලික ප්‍රතිකාර ලබාදී ඇයව නිවෙස වෙත පිටත්කර හැර ඇත. නිවසේදී යළිත් ක්ලාන්තව අසාධ්‍ය තත්ත්වයට පත්වූ තම බිරිඳ පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ඇගේ සැමියා වන එම්.පී. ඩබ්ලිව්. ජයසිංහ කීය.

මෙලෙස එන්නත් දෙකක් ලබාගෙන ඇත්තේ පේරාදෙනිය ඔගස්ටාවත්තේ පදිංචි 51 හැවිරිදි ප්‍රියංකා කුමාරි මහත්මියටය. එකම හෙදිය වෙනත් කල්පණාවක සිටිමින් මෙම කාන්තාවට එන්නත් දෙකක් එකම අවස්තාවක ලබාදී ඇති බව වාර්තාවේ.

කොවිඩ් එන්නත් දෙකක් ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට ලබාදුන් බවට පැමිණිල්ලක් තමන් වෙතද ලැබුණු බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන ලෙස මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාට දැනුම් දුන් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය කීය.

මේ සම්බන්ධයෙන් ගගවට කෝරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සුමුදු තෝරදෙණිය මහත්මිය ගෙන් මාධ්‍ය කළ විමසීමේදී අදහස් දැක්වීම ප්‍රතික්සේප කර ඇත.