රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් සොයාගත් ලොව විශාලතම නිල් මැණික් පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත චීනයේ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවත් එය අලෙවියෙන් පසු සියයට 10 ක පංගුවක් රජයට හිමිවන බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.



ඒ අනුව වෙන්දේසියට පෙර එම මැණිකෙහි වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මේ වන විට ආරම්භ කර ඇති බව පවසා ඇති රාජ්‍ය ඇමතිවරයා තමා මැදිහත්වී මෙම මැණික ලංකා බැංකුව දක්වා ගෙනයාමට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බවද කීය.

චීනයේ මැණික් වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන නිසා එහිදී එය අලෙවි කරන්නට අයිතිකරුගේ කැමැත්ත සහිතව පියවර ගන්නා බවද ඔහු කියා තිබේ.
මෙවන් ගනුදෙනුවකදී මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවද ඔහු කීවේය.

රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.