Gampaha International teacher who abused a student in a car saying let's go buy books

ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට පහසුකම් සැපයෙන අත් පොත් මිලදී ගැනීමට යයි රවටා, දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් කොළඹට රැගෙනවිත් සිය මෝටර් රථය තුළදී අපයෝජනයට ලක් කළ බව පැවසෙන ගම්පහ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයෙකු අගෝස්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලියනගේ මංජුල රත්නායක මහතා පෙරේදා (25දා) නියෝග කළේය.

ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලීසිය කියයි. හතළිස් නව හැවිරිදි සැකකරු, තම පාසලේ ඉගෙනුම ලබන මෙම සිසුවිය නිට්ටඹුව ප්‍රදේශයේ සිට මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයට රැගෙනවිත්, රථ ගාලක් තුළ මෝටර් රථය නවතා අපයෝජනයට ලක් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයකු ලෙස සේවය කරන බවත් එම පාසලේ ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක් මෙසේ රැගෙන විත් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇත.

ඉංග්‍රීසි චතුරව හැදෑරීමට නම් පරිහරණය කළ යුතු පොත් කිහිපයක් පිළිබඳ තොරතුරක් ලන්ඩන් නුවර පදිංචිව සිටින සිසුවියගේ නැන්දනිය පසුගියදා ඇයට දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව අදාළ පොත් මිලදී ගැනීම පිළිබඳව සැකකාර ගුරුවරයාගෙන් විමසූ විට එම පොත් ඉතා අඩු මිලට ලබා ගැනීමට හැකි බවත් ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ තම මිතුරෙකු සිටිනා බවත් සිසුවියගේ ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ. ඒ අනුව සිසුවිය සමග සැකකරු සිය මෝටර් රථයෙන් කොළඹට පැමිණ , නැවත ගම්පහ ප්‍රදේශයට යන අතරතුරදී. මද විවේකයක් සඳහා සිසුවියගේ ද කැමැත්ත පරිදි මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ රථගාලක් තුළ මෝටර් රථය නවතා ඇතැයි හෙළිවී තිබේ.පසුව ඉදිරිපස අසුනේ සිටි සිසුවිය පසුපස. අසුනට යෑමත්, ඒ සමඟම රුදුරුද පසුපස අසුනට ගොස් දොරවල් වසා ගැනීමත් පිළිබඳ අසල සිටි ත්‍රිරෝද රථ රියැදුරකු දැක ඒ පිළිබඳව සැක සිතී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මේ බව දන්වා ඇත.



ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා ක්ෂණයකින් එම ස්ථානයට ගොස් මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු විසින් සිසුවිය අපයෝජනයට ලක් කරමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී දෙදෙනාම නිරුවත්ව සිට ඇති බවත් පැවසේ.ඒ අනුව සැකකාර ගුරුවරයා සහ සිසුවියන් මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තලංගම පොලීසියට රැගෙන ගොස් මූලික විමර්ශන පවත්වා මෙසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ලබන අගෝස්තු 4 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. එසේම දැරිය සම්බන්ධයෙන් පරීවාස වාර්තාවක් කැඳවන ලෙසටත් ඇයගේ තාවකාලික භාරකාරත්වය පියාට පවරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවන ලදි.

(මත්තේගොඩ -ශාන්ත ප්‍රදීප් )