ෆේස් බුක් මගින් හඳුනාගත් සිසුවියක් පාළු නිවසකට ගෙන ගොස් අපයෝජනය කර පසුව නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු එළඹෙන 28වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරණ මහත්මිය 18දා නියෝග කළාය.  මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 20 හැවිරිදි තරුණයෙකි. සැකකරු දහසය හැවිරිදි වින්දිත සිසුවිය සමග 2020 නොවැම්බර් 10 වන දින ෆේස් බුක් මගින් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම වසරේ ජනවාරි මස දිනක ඇය හිරිඹුර ප්‍රදේශයේ උපකාරක පන්තියකට යන බව පවසා නිවසින් පැමිණ ඇති බවත්,

පසුව එම ස්ථානයට පැමිණ සිටි සැකකරු ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන ගිංතොට පියදිගම දුම්රිය ස්ථානය අසල පාළු දෙමහල් නිවසකට ගෙ ගොස් අපයෝජනය කර නිරුවත් ඡායාරූපය ලබාගෙන ආපසු උපකාරක  පත්තිය අසලට ගෙනැවිත් දමා ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකරු ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා බියට පත්කර මුදල් ඉල්ලීම නිසා බියට පත් ඇය අවස්ථා කිහිපයකදීම තම පියාගේ මුදල් සොරකම් කර සැකකරුට ලබාදී තිබෙන බවත් අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබේ.

(රවිඳු දීයගහගේ)