Dambulla economy vegetable stealing gang

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවඵ සොරකම් කිරිමේ සංවිධානාත්මක කල්ලියක් නිසා ගොවීන්, ව්‍යාපාරිකයන් මෙන්ම එළවළු මිලදී ගැනීම සදහා පැමිණෙන වෙළෙන්දන් දැඩි අසීරුතාවකට ලක්ව සිටිති. ශීඝ්‍රයෙන් එළවළු මිල ඉහළ යාමත් සමග මෙම සංවිධානාත්මක කණ්ඩායම වෙළෙන්දන් ලෙස පෙනී සිටිමින් ඉතා සූක්ෂම ලෙස ගොවීන්ගේ එළවළු මලු පිටින් සොරාගන්නා බවත් ඇතැම් වෙළෙන්දන් එළවළු මිලදී ගෙන තම ලොරියට පටවා තිබියදී මෙම එළවළු මලු සොරකම සිදුවෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ සභාපති ආර්. බන්දු මහතා පවසා සිටියේ, සංවිධානාත්මක පිරිස තම සංගමයට පාලනය කිරීමට නොහැකි බවත්, ඉතා සූක්ෂම ලෙස ජාවාරම්කරුවන් වෙළෙන්දන් ලෙස මෙන්ම ගොවීන් ලෙසද පෙනී සිටිමින් අන් අයගේ එළවළු සොරා ගැනීම ක්‍රියාත්මක වන බවත්ය.එමෙන්ම කම්කරු සංගමයේ ලේකම් ඒ. විජේකුමාර් මහතාගෙන් විමසීමේදී පැවසුවේ, පසුගිය දිනක යුද හමුදාව විසින් මිලදී ගත් එළවළු පවා ආර්ථික මධ්‍යස්ථානය තුළ තිබියදී සොයාගත් බවය.

කෙසේ වෙතත් මේ පිළිබදව බොහෝ වෙළෙන්දන් පොලීසිවලට නොගොස් පාඩුව විද දරා ගන්නා බවද පෙන්වා දුන්නේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමින වෙළෙන්දන් පැවසුවේ, වෙළඳ සැල් තුළ මිලදී ගන්නා එළවළු සඳහා මේ දිනවල විශාල මිලක් පවතින බවය. ඒ අනුව එක එළවළු ගෝනියක් සොරා ගැනීම තුළින් විශාල පාඩුවක් සිදුවන බවද සදහන් කළේය.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ නියෝජිතයකු වූ අයි.පී. විජේනන්ද මහතා පැවසුවේ, තම වෙළද සංගමයටද දිනපතා එළවළු සොරකම් කිරීමේ පැමිණිලි රැසක් ලැබෙන බවත්, ඒ අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට පවා දක්වා එම තත්වය පාලනය කිරීම සඳහා වෙළඳ සංගමය මැදිහත්වී තිබෙන බවත්ය.

කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ මීට පෙර මෙවැනි මහා පරීමාණ එළවඵ සොරකම් සිදු නොවුණ බවත් පෙන්වා දෙන වෙළඳ සංගම් නියෝජිතයෝ සඳහන් කළේ. මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී ගොවීන්ට ව්‍යාපාරිකයන්ට මෙන්ම එළවළළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ටද බරපතළ හානියක් සිදුවන බව පෙන්වා දුන්හ.

මේ පිළිබදව අවධානය යොමු කොට මෙම එළවළු සොරා ගත්තා කණ්ඩායම ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරිම සඳහා පියවර ගත යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොලිස් මුරපොළක් ද පිහිටා තිබේ. පොලිස් නිලධාරීන් ද දැඩි වෙහෙසක් දරමින් රථවාහන පාලනය මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම ආදී කටයුතුවල නිරත වන බවත් විශාල පිරිසක් දිනකට ගැවසීම නිසා වෙළෙන්දන්, ව්‍යාපාරිකයන්, කම්කරුවන් ගොවීන් ආදී බොහෝ දෙනෙක් එකිනෙකා හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වය උපයෝගී කරගෙන මෙම කණ්ඩායම සංවිධානාත්මකව එළවළු සොරකම් සිදු කරන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

(එස්. කරුණාරත්න)