Gamages-gem-bouquet-was-made-public-to-the-international-media

ඊයේ දහවල් ‘ලෝකයේ විශාලතම තාරකා මැණික් පොකුර‘ රත්නපුරින් හමුවූ බවට පළවූ පුවත සම්බන්ධ වැඩි විස්තර මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම මැණික් ගල හමුව තිබෙන්නේ රත්නපුර කහවත්ත පැල්මඩුල්ල ප්‍රදේශයේ වාසය කරන ගමගේ නමැති ව්‍යාපාරිකයෙකුගේ පුද්ගලික ඉඩමකදීය. ආරක්ෂක හේතු මත ඔහුගේ මුල් නම හෙළි කර නැත.
මැණික් ගල හමුව ඇත්තේ ඔහුගේ ඉඩමේ ළිඳක් හාරන්නට සූදානම් වූ අවස්ථාවක බිම් මැනුම් සිදුකරමින් සිටියදී අදාළ යන්ත්‍රයක ගල වැදීමේදී සිදු කළ පරීක්ෂාවේදීය.


මැණික් ගල් පොකුර ඒ ආකාරයට හමුවීම නිසා එහි සම්පූර්ණ වටිනාකම ගමගේ මහතා සතුවන අතර පතලක මැණිකක් හමුවීමේදී වටිනාකම බෙදී යන ආකාරයට මෙහි වටිනාකම බෙදී නොයනු ඇත. ගල හමුවී දැනට අවුරුද්දකට ආසන්නය.
ගල හමුවූ අලුත ඒ ගැන කිසිවෙකුට නොකියූ බව පැවසේ. පසුව ගමගේ මහතා මේ ගල විකුණන්නට අවශ්‍ය පසුබිම සකස් කරමින් තොරතුරු සොයා බලා ඇති මුත් එහි පවතින ඉහළ වටිනාකම නිසා නිසි ඇගයීමක් එකවර ලබාගැනීම අපහසුවී ඇත.
අනතුරුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උපදෙස් හා අනුදැනුම මත එය අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු ඔහු සිදු කර තිබේ.
ස්වර්ණාභරණ අධිකාරියේ උපදෙස් මත මෙම ගල මේ වනවිට ලංකා බැංකුවේ සේප්පුවක ආරක්ෂිත ලෙස තැන්පත් කර ඇත.
මෙම ගල මැනුම් කරන ලද්දේ මීට ටික කලකට ඉහතදී වන අතර මැණික් ගලේ හිමිකරු විසින් ලබාගත් එම අවස්ථාවේ එක් ඡායාරූපයක් ඊයේ ප්‍රසිද්ධ කරන ලද්දේ ජාත්‍යන්තර මාධ්‍ය වෙතයි.


ඒ අනුව බීබීසී,ඩේලි මේල්, ඕස්ට්‍රෙලියන් 9 නිවුස් ඇතුළු ලොව පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ ගැන දැනටමත් විස්තර පළ කර ඇත.
ඔහු මේ ගැන ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රසිද්ධිය ලබාදුන්නේ මෙම ගලට නිසි වටිනාකමක් ලන්සුවක් ලබාගැනීමේ අටියෙනි.

කැරට් මිලියන 2.5ක්, කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්ත බවට හඳුනා ගෙන ඇති ගලෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර වසර මිලියන 450කට එපිට ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ හැදුණ පාෂාණවලින් බිහිවුණ කොරන්ඩම් පොකුරක්. ලෙස අන්තර්ජාතික මැණික් විශේෂඥයන් ඒ ගැන පවසා තිබේ.