Bringing poor children from the plantation areas to take care of babies in Colombo is an organized racket

කොළඹ නගරයේ වෙසෙන ප්‍රභූවරුන්ගේ දරුවන් බලාගැනීම සඳහා ග්‍රාමිය දරුවන් කොළඹට රැගෙන එන මිනිස් ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වන බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙරේදා (24) අධිකරණයට දැනුම් දුන්නේය. දරිද්‍රතාවෙන් හා අග හිඟයෙන් පෙළෙන ග්‍රාමීය දරුවන් විශේෂයෙන්ම වතුකරයේ දරුවන් කොළඹ ප්‍රදේශයේ ප්‍රභූ නිවෙස්වලට මෙහෙකාරකමට යෙදවීම සඳහා විකිණීමේ මිනිස් ජාවාරමක ප්‍රබල ජාලයක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.




 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේ හිටපු ආමත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ  යෙදී සිටියදී පිළිස්සී ජීවිතක්ෂයට පත්වූ ජූඩ් කුමාර් ඉෂාලිනි නමැති බාලවයස්කාර දැරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනාට  නේරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ පෙරේදා (24) විභාග වූ නඩුවේදීය.  මෙම සිද්ධිය අප රටේ සමාජ ඛේදවාචකයක් නිරූපණය කරන ප්‍රබල සිද්ධියක් බවත් “කොළඹ බේබිලා" බලාකියා ගන්නට එම දරුවන්ගේ වයසේ පසුවන දිළිඳු දරුවන් කොළඹට ගෙන්වා මිනිස් ජාවාරම් සිදුකරන ජාලයේ සාමාජිකයකු වශයෙන් මෙම නඩුවේ පළමු සැකකරු හඳුන්වා දිය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.


ඔවුන් එලෙස රැගෙන එන දරුවන්ට නිසි ආරක්ෂාවක් හෝ රැකවරණයක් සලසා නොමැති අතර, එම දරුවන්ට ඔවුන්ගේ භාරකරුවන් සමග නිසි සන්නිවේදන පහසුකමක් හෝ ලබා නොදීමට වග බලා ගෙන ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. විශේෂයෙන්ම මෙම දරුවන්ට ලබාදෙන වැටුප  ලැබෙන්නේ ද මෙම තැරැව්කරුවන්ගේ ගිණුම්වලට බවත්, ඔවුන් එම මුදලින් අඩක් හෝ ඉන් කොටසක් තම පරිභෝජනයට තබාගෙන ඉතිරිය භාරකරුවන් වෙත නිදහස් කරන බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි නියෝජ්‍ය   සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.


මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ පෙරේදා (24) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරීපත් විය.


 -නිමත්ති රණසිංහ (ලංකාදීප)-