වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් මාලබේ ප්‍රදේශයෙදි  නිවසක් වටලා ගණිකා සේවයේ නිරත ලාංකික තරුණියන් තිදෙනකු සහ තායිලන්ත  තරුණියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටත් මෙම ස්ථානයේ සැබැ අයිතිකාරිය රංගන ශිල්පිණී අනුෂා දමයන්ති බවටත් ඇය පොලිසිය භාර ඇමතිවරයාට කතාකර තරුණියන්ට නවාතැන් සැපයූ තම බෝඩිමක් බව පවසා අත්අඩංගුවට ගත් අය වහාම මුදා හැරගත් බවටත් ෆේස් බුක් ඔස්සේ ඔස්සේ කතාවක් පැතිර ගොස් තිබේ.

අද (23) රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළාය.
ඇය මෙසේ කීවාය.

“මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන.

රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්.

මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි.”