ශ්‍රී ලංකාව කෝවිඩ් 04වැනි රැල්ලේ මුල් කොටසට ළඟා වෙමින් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. ඒ අනුව කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාව තුළ 50%කට වැඩි ජනතාවකට ආසාදිත වන බවත්, එසේත්ම එය රට තුළ ප්‍රධාන වෛරස ප්‍රභේදය බවට පත් වීම සැකයකින් තොර බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එන්නත මත විශ්වාසය තබා රෝගය හා රෝගීන් පාලනය කිරීම හෝ ජනතාව  පෙර සිටි පරිදි සිටිය හැකියි යන බවට කිසිවෙකු සඳහන් කළහොත්, එය මිථ්‍යාවක් වන බවයි. ඒ අනුව පවතින තත්ත්වය සඳහා අවශ්‍ය සුදුසු පියවර ජනතාව ලෙස තම තමුන් හා රජය විසින් ගත යුතු වන බවද එම වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹදී ඊයේ (20)දා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වා සිටියාය. ඒ අනුව එහිදී සිය සංගමය වෙනුවෙන් පවතින කෝවිඩ් තත්ත්වය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ සභාපතිනිය,"අපේ රෝහල් පද්ධතිය ගැන අපට ලැබෙන කරුණු කාරණා අනුව කෝවිඩ් 04වැනි රැල්ලේ මුල කොටසට අපි ළඟා වෙමින් තිබෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස මෙම අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕනෑ. එය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැගීමයි.


 මීට අවශ්‍ය සුදුසු පියවර ජනතාව ලෙස තම තමුන් හා රජය විසින් ගත යුතුයි. මෙහිදී අපි අපටම කර ගත හැකි සේයා ඉතාමත්ම වැඩියි.ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ඇවිල්ල තියෙනවා. ඒ දවස්වල තද සංචරණ සීමා පනවද්දි එය රටට තර්ජනයක් වුණේ නැහැ. ඒ නිසා මේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල් නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවට ආසාදිත වෙලා, එය තමයි මූලිකම රෝගය බවට පත් වන්නේ, කියන එක අපට සැකයකින් තොරයි. අපට වැදගත් වෙන්නේ, ජනතාව මේ රෝගයෙන් කොහොමද ආරක්ෂා කර ගන්න පුළුවන් කියන එකයි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ගන්න අපි උත්සාහ කරනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අපට පැහැදිලිවම කියන්න පුළුවන්, මේ ආකාරයට රට විවෘත කළොත් එතැනින් මේ රෝගීන් වැඩි වෙනවා කියන එක. අද වනවිට කොළඹ මහ නගර සභාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 30%ක් පමණ ඉන්නවා කියන එක අපට හිතා ගන්න පුළුවන් දැනට තියෙන දත්තවලින්. ඩෙල්ටා රෝගීන්ගේ ඛේටයේ තියෙන වෛරස ප්‍රමාණය ඉතාමත්ම වැඩියි. ඒ වන්ම බෝ වීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩියි. අනිත් ප්‍රභේදවලට සාපේක්‍ෂව. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට ඇති තරම් පහසුකම් නැහැ.

මාසයකට 200ක් පමණ තමයි පරීක්‍ෂණ සිදුකිරීමේ හැකියාව තිබෙන්නේ. දැනට ඒ පක්‍ෂණ සිදුකරන්නේ තෝරා ගත් තැන්වලින්. ඒ නිසා රටේ හැමතැනම ඩෙල්ටා ආසාදිතයන් සිටිනවාද කියලා කියන්න පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් වෛරස් ඒ වේගයෙන් ව්‍යාප්ත වෙනවා.  තද සංචරණ සීමා පවතිද්දී වෛරසය පැතිර යන වේගය අඩුයි. රට විවෘත කර සාමාන්‍ය ලෙස හැසිරෙනවා නම් ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් මාසයක් ඇතුළත හෝ සුමාන 02ක් ඇතුළතදී රට පුරා පැතිරෙන්න පුළුවන් කියන ඒක අපි අනිවාර්යයෙන්ම දන්නවා. මට එන්නත්කරණය වේගවත් නිසා ඉදිරි සති 06-08 කාලය ඇතුළත ඉතා ආරක්ෂිතයි කියලා කියනවා නම්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි පවසනවා එය මිථ්‍යාවක් කියලා. එනතෙන් අපට ආරක්ෂාව ලැබෙනවා. ඒක රටට අත්‍යවශ්‍යයි. එය දීර්ඝකාලීනව අපි කළ යුතු දෙයක්. එන්නත මත විශ්වාසය තබා ගෙන අපි රෝගය හා රෝගීන් පාලනය කරනවා හෝ ජනතාවක් ලෙස පෙර සිටි විදිහටම යන්න පුළුවන් කියලා සඳහන් කළොත්, එය. මිථ්‍යාවක් ලෙස අපි දකිනවා. ඊළඟ මාස 02ට හෝ එන්නත්කරණයේ ඇති ආරක්‍ෂාව මදි යැයි කීමට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා 15%ක් පමණ මේ වනවිට. දැනට සම්පුර්ණයෙන්ම එන්නත්කරණය සිදුකර තිබෙන්නේ 8%ක ප්‍රමාණයක ජනතාවටයි.


ඉන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නැහැ කියලා. දෙවැනි හේතුව තමයි, එක එන්නතක් ලබා ගත් අය 25%ක් පමණ සිටිනවා. එක එන්නතක් ලබා ගත්තත් ඉන් ආරක්ෂාව ලැබෙන්න නම් 02 වැනි එන්නතත් අරගෙන තවත් සති 02ක් පමණ ගත විය යුතුයි. තුන්වැනි කාරණය, එන්නත්කරණයෙන් රෝගය වැලඳීමට ඇති හැකියාව 100%කින් නැති නොවීමයි. රෝගය බෝ වීමේදී අලුත් වෛරසය ඇති වෙනවා. අලුතින් බෙදීම් සිදුවෙනවා. විකෘති මතුවෙනවා. දැනට ඇති එන්නත් සියල්ලගේම ඩෙල්ටා ප්‍රභේදයට බලපෑමක් තියෙනවා කියන ඒක විද්‍යානුකූලව සඳහන් වුණත් විකෘති හැසිම් ආකාර ගැන පුරෝකථනය කළ නොහැකියි. මඟුල් ගෙවල්, ආගමික ස්ථාන, පොදු ප්‍රවාහනය, බාර්, රෙස්ටෝරන්ට් ගැන කතා කළොත් එවැනි ආවරණය වන ස්ථානවල රෝගීන් සිටියහොත් වෛරස ව්‍යාප්තිය වැඩියි. මේ සෑම තැනක්ම රෝගීන් පොකුරක් සෑදීමේ මධ්‍යස්ථානයක් විය හැකියි. ජනතාව සියලු දෙනා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

වෛරස තමන්ට වැලදීම හා තමුන්ගෙන් තව අයෙකුට වැලඳීම වළක්වා ගැනීමට. එංගලන්තය වැනි රටවල් විවෘත කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි කියලා මතයක් තියෙනවා. දියුණු රටවල් ලෙස ඔවුන්ට තිබෙන පහසුකම් අපට නැහැ. සිංගප්පුරුව, එංගලන්තය ගත්තත් ඇප් එකක් හරහා පහසුවෙන් හඳුනා ගෙන  ඉතා වේගයෙන් නිරෝධානය වීම්වලට යාම සහ රෝග පාලන ක්‍රම ඔවුන්ට තිබෙනවා. එම ක්‍රම වඩා තදින් ක්‍රියාත්මක කිමේ පහසුව අපට වඩා ඔවුන්ට තිබෙනවා. ඒ රටවලට එහෙම කරන්න පුළුවන් වුණාට අපේ රටට එහෙම කරන්න බැහැ කියලා ජනතාව දැනුම්වත් විය යුතුයි” යනුවෙන්ද ප්‍රකාශ කළාය.

(නිදර්ශනී වික්‍රමසිංහ)