සංචරණ සීමා ඉවත් කළ ඊයේ (21දා) දිනයේදී බොහෝ ප්‍රදේශවල ජනතාවගේ හැසිරිම ගැන සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යා පරීක්‍ෂකවරුගේ සංගමය සඳහන් කරයි. සංගමයේ  සභාපති මහජන  සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා කියන්නේ ජනතාවට රෝගය ගැන අමතකව තිබූ බවය.


මේ නිසා වෙළෙඳ පොළට පැමිණෙන විට හා වෙනත් කටයුතු  සඳහා නිවසින් බැහැරව ගිය පසු දුරස්ථභාවය තබාගැනීමට කටයුතු කළ  යුතු අතර, අත්‍යවශ්‍යම කටයුත්තකට පමණක් නිවසින් බැහැරව යන  ලෙසද ඔහු  පැවසීය.


එමෙන්ම නිවසින් බැහැරව ගිය පසු දෑත් සුපිරිසුදු කර ගැනීම  ඇතුළු අනෙකුත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය සකළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

කෝවිඩ්-19 රෝගීන්  සහ මරණ දිනපතා වාර්තාවන හෙයින් මෙම සතිය තුළදී අහඹු ලෙස  පී.සී.ආර්. පරික්‍ෂණ ද සිදුකර ලබාගන්නා තොරතුරු මත ඉදිරියේදී රට පවත්වාගෙන යාම පිළිබඳ තීරණයක් ගත යුතු බවද සභාපතිවරයා පැවසීය.   කෝවිඩ්-19 තත්වය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා ඉවත් කර තිබෙන කාලය තුළදී සෞඛ්‍ය උපදෙස්  පිළිපදිමින් ජනතාව අදාළ කටයුතු සිදුකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය..


 -ඉන්දික හේවාවිතාරණ-