අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල මඟින් ගුරුවරු ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් අධීක්‍ෂණය කිරීමට කටයුතු කරමින් ගුරුවරුන් පීඩාවට පත් කිරීම වහා නවතා දමන ලෙස ගුරු විදුහල්පති සංගම් හතක් එකාබද්ධ වී බලධාරින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. 

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ලංකා ප්රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, පුහුණු හා විද්‍යාපීඨ ගුරු සංගමය,

ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ලංකා කෘෂි විද විද්‍යාපීඨ ගුරු සංගමය සහ ගෘහ විද්‍යා ඩිප්ලෝමාධාරි සංගමය එක්ව මෙම ඉල්ලීම සිදුකර ඇත.

2020 මාර්තු 12 සිට කෝවිඩ්-19 වසංගත තත්වයත් සමග පාසල් වැසීම ආරම්භ කළ බවත්, එම ක්‍රියාවලියට වසරකුත් මාස O3කට වැඩි කාලයක් ගත වී තිබියදීත් දුරස්ථ ඉගැන්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවත් එම සංගම් පෙන්වා දෙයි.දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද බොහෝ තිබියදී කෝවිඩ්-19 වසංගත තත්ත්වය තුළ බිඳවැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවේ එකම විකල්පය වී තිබෙන්නේ, ඔන්ලයින් ඉගැන්වීම බවත්, එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය උපාංග, ඩේටා වැනි කිසිදු පහසුකමක් ගුරුවරුන්ට ලබාදී නොමැති බවත් එම සංගම් සඳහන් කර තිබේ.

දැනට සිදුවන ඔන්ලයින් ඉගැන්වීම් ගුරුවරුන් විසින් තම වියදමින් ස්වේච්ඡාවෙන් සිදු කරමින් තිබෙන බවත්, ඔන්ලයින් අධ්‍යාපනය තුළ ළමයින්ගෙන් 60%කට වැඩි පිරිසකට අධ්‍යාපනය අහිමි වී තිබෙන බවත් එම සංගම් පෙන්වා දෙයි.

එවැනි පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගුරුවරු ස්වේච්ඡාවෙන් සිදු කරන ඔන්ලයින් ඉගැන්වීම් අධීක්‍ෂණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී ඔවුන් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන කාර්යයන් අධීක්‍ෂණය කරන බවත් අදාළ සංගම් පවසා සිටියි. මීට අමතරව සමහර කලාප අධ්‍යාපන කාර්යාල මගින් ඔන්ලයින් ඉගැන්වීම් සඳහා ගුරුවරුන්ට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවද ඔවුහු පෙන්වා දෙති.



බොහෝ සිසුන් මෙම ඔන්ලයින් ඉගැන්වීම්වලට සහභාගි නොවන බවත්, එවැනි දරුවන් කෙසේ හෝ සම්බන්ධ කර ගන්නා ලෙසට කලාප අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දැඩි බලපෑම් කරමින් සිටින බවත් සඳහන් කරන අදාළ සංගම්, ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට කිසිදු පහසුකමක් ලබා නොදී මේ ආකාරයෙන් ඔන්ලයින් ඉගෙනුම් සඳහා බලපෑම් කිරීම සහ එම ඉගැන්වීම් අධීක්‍ෂණය වහා නතර කරන ලෙසට අධ්‍යාපන බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවද පවසයි.

(ඉන්දික හේවාවිතාරණ - ලංකාදීප)