slma-statement

හෙට 21 සඳුදා සංචරණ සීමා ඉවත් කිරීම හා එය නැවත දින දෙකකට පවරමින් ලබන සතියේ රජය මගින් කරන්නට යන කටයුත්ත පැහැදිලි නැති බවත් වර්තමානයේ ආසාදිතයින් වාර්තාවීමේ වෙනසක් නැති වාතාවරණය තුළ පවතින ක්‍රමවේදයම අඛණ්ඩව අඩුතරමේ 28 වනදා දක්වා වත් ගෙනයායුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ජනපතිවරයා වෙත ඊයේ (19) ලිපියක් යොමු කර තිබේ.


එහි සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න එහිදී මෙසේ කියන්නීය.

 ‘අතිගරු ජනාධිපතිතුමනි,  2021 මැයි 21 සිට රටපුරා අගුලු දැමීම  රජය විසින් ප්‍රකාශයට පත් කළ තීරණය අපි බෙහෙවින් අගය කරමු. කෙසේ වෙතත් එය ක්‍රියාත්මක වන ආකාරය තරමක් අසම්පූර්ණ බවද පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ජනතාව ඇතැම් කොටසක් පුරුදු පරිදි සංචරණය කරමින් සිටී. කෙසේ වෙතත් මෙම අගුලු දැමීම හේතුවෙන් ආසාදිතයින් විශාල වශයෙන් වාර්තාවීම හා මරණ වාර්තාවීම යම්තාක්දුරට පාලනය වූ බව පෙනෙන්නට තිබේ.
 වසංගතයේ තත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වන අප ඉල්ලා සිටින්නේ අවම වශයෙන් 28 වනදා දක්වා පවතින ක්‍රමය දීර්ඝ කරන ලෙසයි.
ලබන 21 සිට 23 දක්වා විවෘත කර නැවත  23 සිට 25 දක්වා පනවනු ලබන සංචරණ සීමා වෙනස්කම් සඳහා පදනම අපට එතරම් පැහැදිලි නැත.

රට තවමත් අවදානමක පවතී. සෑම දිනකම 2000 ට වැඩි නව ආසාදිතයින් වාර්තාවන අතර 50 ට වැඩි මරණද සිදුවේ.
 මෙම තත්වය තවදුරටත් සංකීර්ණ කරමින් ඩෙල්ටා ප්‍රභේදය මතුවීම පිළිබඳ සාක්ෂි ද වාර්තාවී ඇත
ඉක්මණින් සම්ප්‍රේෂණය වන මෙම ප්‍රභේදය  දින කිහිපයක් තුළ පවා සිදුකරන්නට ඉඩ ඇති හානි අවදානම වැඩිය.
 මිනිසුන්ගේ නිදහස් චලනය මඟින් භයානක ලෙස වසංගතය  සම්ප්‍රේෂණය වැඩි වීමට හේතු විය හැකිය.
 නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ. එමගින් තත්වය තීව්‍ර වන්නට හැකියාවක්ද ඇත‘