sarath-weerasekara-piyumi-hansamali

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය සඳහා ගෙන ගිය බස් රථය ආපසු හරවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් දුරකථනය ඔස්සේ නියෝග කළ බවට අන්තර්ජාලයේ පතල වෙමින් යන පුවත අසත්‍යයක් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ඊයේ (4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.



අදාළ මාධ්‍ය නිවේදනයට අනුව සිදුව ඇත්තේ අන්තර්ජාලයේ පලවන තොරතුරුවලට හාත්පසින්ම වෙනස් දෙයකි.

2021.06.02 දින සන්ධ්‍යා කාලයේදී මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මහතා හට මංජු ශ්‍රී නැමති නීතිඥ මහතා කතා කොට ඔහුගේ සේවාදායකයින් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් පවසා ඇත. ඉන්පසු යම් කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමා පියුමි හංසමාලී නැමැත්තිය බවත් තමා ඇතුළු කණ්ඩායමක් ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ලට රැගෙන යන බව සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


ඉන් අනතුරුව චන්දිමාල් ජයසිංහ නැමැති අයද දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඉහත ඉල්ලීම සනාථ කරමින් ආයාචනයක් කර ඇත.

ඉන්පසු ඇමතිතුමා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස්රථයේම සිටියදී අදාල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ගෙනත් දීමට අවසථාවක් සළසා අදාල බස්රථය නිරෝධායන නියෝගය පරිදි බදුල්ල පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇත.



මෙහිදී කිසිදු අවස්ථාවක මෙම බස්රථය ආපසු හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස හෝ ඇමතිතුමා විසින් කිසිම උපදෙසක් / නියෝගයක් ලබාදී නොමැති බවත්, ශ්‍රී ලංකා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලාඅවශ්‍ය උපදෙස් දීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් ලබා දී නොමැති බවත් මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කර ඇත.

මෙම සිදුවීමේදී පමනක් නොව මහජනතාව විසින් පොලීසිය සම්බන්ධව ඉදිරිපත් කරන විවිධ ප්‍රශ්ණවලදී අමාත්‍යවරයා විසින් මහජනතාවට සවන් දෙමින්, මැදිහත්වෙමින් ක්‍රියාකර ඇති බව පෙන්වා දෙන මාධ්‍ය ලේකම්වරයා ඉහත සිදුවීමට අදාලව ව්‍යාජ හා අසත්‍ය තොරතුරු විවිධ පුද්ගලයින් විසින් ද්වේශසහගතව ප්‍රචාරය කර ඇති බව ද සඳහන් කර ඇත.