rajiv-yasiru-kuruvita

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ලවී ඇතැයි  ජනමාධ්‍ය වෙත ලිපි ශීර්ෂ හරහා නිවේදන නිකුත් කළ ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පෙනී සිටින සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු නමැත්තා පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබේ.


 ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය , ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවිවලට මෙම දැවැන්ත සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවට ඔහුගේ නිවේදනයේ සඳහන්ව ඇතත් එවැන්නක් සිදුව තිබුනේ නැත.


‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පවත්වා යන මෙම සංගමය රජයේ ලියාපදිංචිය ලබා පවත්වා යන්නක් නොවන බවට මීට මාස ගණනාවකට පෙරද සමාජ මාධ්‍ය තුළ  දෝෂ දර්ශනයට ලක්වූ අතර ‘ශ්‍රි ලංකා‘ වචනයෙන් ආරම්භ වන ලෙස නම් තබා ඇති සංගමයක් රජයේ අනුදැනුමකින් තොරව පවත්වා යාහැකිද යන නීතිමය ගැටලුව ගැනද එහිදී සාකච්ඡා විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත ඊමේල් හරහා විවිධ අවස්ථාවල මෙම සංගමයේ නමින් නිවේදන නිකුත්වන අතර ඒවායේ තොරතුරු වැඩි පරීක්ෂාවකින් තොරව ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළවන අයුරුද නිරීක්ෂණය විය.

රජයේ ලියාපදිංචි ආයතනයක් වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ රජයේ
කිසිදු වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැති බවය. සර්වර වල තාවකාලික දෝෂ තිබී ඒවා ටික වේලාවකට අක්‍රීයවී ඇති බවත් මේ ගැන කිසිදු සොයා බැලීමකින් තොරව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වල නම් යොදමින් සයිබර් ප්‍රහාරයක් ලෙස අර්ථ දක්වා මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති බවය.එම දෝෂ දැනටමත් නිරාකරණය කර ඇති අතර වෙබ් අඩවි පෙර පරිදි නැරඹීමට හැකිය.

එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට ව්‍යාජ තොරතුරු පතුරුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු
තාක්ෂණ සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබෙන්නේ කවර උවමනාවක් නිසා මේ ආකර තොරතුරු පතුරුවන්නේද යන්න විමසීමටය.

2020 මාර්තු මාසයේදී සම්පත් බැංකු ඒටීඑම් යන්ත්‍ර දෝෂයක් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ ගතකළේය යන පැමිණිල්ලකටද මොහුව කැඳවා ප්‍රශ්න කිරීමට ලක්කර තිබේ.