padeniya-GMOA

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ප්‍රකාශයට පත්කර ඇති කාලයේදී අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම නීතිවිරෝධී ලෙස කටයුතු කරමින් සිටින බවට මෙවර එම නිලවරණයට තරග කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා චෝදනා කළේය.  වාර්ෂික නිලවරණය ප්‍රකාශයට පත්කර ඇති සමයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිල කාර්යාලය නිල ශීර්ෂ පාඨය, නිලබලය සහ ගිණුම් වාර්තා භාවිත කරමින් නීති විරෝධීව කටයුතු කරන බව ප්‍රියන්ත අතපත්තු මහතා කීය.



කොරෝනා පැතිර යමින් තිබෙන හා දැඩි සංචරණ සීමා පවතින කාලය තුළ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පෙර වසරේ බලයේ රැදී සිටී එම පිරිසට නොහැකි වී ඇතැයි ද ඔහු පැවැසීය.  බොහෝ සාමාජිකයන්ට තවමත් නිලවරණය පැවැත්වෙන බව සඳහන් ලිපි ලැබී නැති අතර තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරිමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි වී ඇතැයි ද අතපත්තු මහතා  කීය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම වසර දහයක් තිස්සේ බලයේ රැදී සිටිය ද ඔවුන්ට වෛද්‍යවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීය.


එක් සාමාජික වෛද්‍යවරයකුගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික ගාස්තු ලෙස රුපියල් 4000ක්ද, නීති කටයුතු  හේතුවෙන් තවත් රුපියල් 2000ක්ද ආදී වශයෙන් රුපියල් 6000ක් ලබාගන්නා අතර සාමාජීක වෛද්‍යවරුන් 20,000කගෙන් එකතුකර ගන්නා මුළු මුදල රුපියල් මිලියන 120ක් පමණ වන බවද ප්‍රියන්ත අතපත්තු මහතා කීය.


 -රංජන් කස්තුරි (ලංකාදීප)-