olympic-japan

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට දින 50කටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී සක්කාරක ජපානය තරගාවලියට වෙනුවෙන් මිනිස් ශ්‍රමය සොයා ගැනීමේ ගැටලුවකටද මේ වනවිට මුහුණ පා සිටියි.  ඒ තරගාවලියේ සේවය කිරීමට සිටි ස්වේච්ඡා සේවයකයන් දස දහසක් පමණ ඉන් ඉවත්වනබව දැනුම්  දී තිබීම හේතුවෙනි.එළඹෙන ජූලි 23 වැනිදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කටයුතු සිදුකිරීමට ස්වේච්ඡා සේවකයන් අසූදහසක් පමණ යොදවා ඇති අතර, ඒ අනුව මෙලෙස ඉවත්වීමට තීරණය කළ පිරිස සමත පිරිසෙන් අටෙන් එකක් පමණ වේ.



මෙලෙස ඉවත්වන පිරිසෙන් වැඩි දෙනෙකු කෝවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ස්වේච්ඡා සේවකයන් බොහෝ පිරිසක් ක්‍රීඩකයන් හෝ තරගාවලියට සහභාගි වන නිලධාරීන් සමගින් සම්බන්ධ නොවීම නිසා සුළු පිරිසකට පමණක් කෝවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත. එමෙන්ම ජපානයේ මන්දගාමීව පැවති එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට තරමක් වේගවත් වුවද, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා උළෙලට පැමිණෙන ක්‍රීඩකයන් හා නිලධාරීන්ගෙන් අවම තරමින් සියයට අසූවකට පමණ එන්නත් ලබා දීමට අපේක්ෂා කරයි.

මේ අතර තරගාවලි සංවිධායකයෝ පවසන්නේ ඉවත්ව ගිය ඇතැම් පිරිස් කෝවිඩ්-19 පිළිබඳ බිය මෙන්ම සිය රාජකාරිය පිළිබඳ අසතුටින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වීමට සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය නොකරන බවටද ඔවුන් සහතික වී ඇත. වැටුප් නොගෙවන මෙම ස්වේච්ඡා සේවකයන් ඔලිම්පික් උළෙල පවත්වාගෙන යාමේ ප්‍රධාන ශ්‍රම බළකාය වන අතර, ඔවුන් සංවිධායකයන්ට ඩොලර් මිලියන ගණනක් ඉතිරිකර දීමට දායක වෙති. ආහාර හා නිළඇඳුමක් පමණක් ලබා ගන්නා මෙම ස්වේච්ඡා සේවකයන් ඔවුන්ගේ බොහෝ  වියදම් ඔවුන්ම පියවා ගනිති. 2000 වර්ෂයේ සිඩ්නිහිදී පැවති ඔලිම්පික් උලෙලේ ස්වේච්ඡා සේවකයින් පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ, ස්වේච්ඡා සේවකයන් 4000ක් සදහා ඔවුන්ගේ වටිනාකම අවම වශයෙන් ඩොලර් මිලියන 60ක් බවයි.

(ඕෂිත වරකපිටිය)