සියලුම වර්ගවලට අයත් ලන්ච් ෂීට් භාවිතය හා නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, 'ලන්ච් ෂීට්  තහනම් කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් මින් පෙර කටයුතු යොදා තිබූ බැවින් නව ගැසට් පත්‍රයක් පළ කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි. 



2016 වසරේදී එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් ලන්ච් ෂීට් තහනම් කිරීමට තීරණය කළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ඒ  අනුව ඉක්මනින් දිරාපත්වන 'ලන්ච් ෂීට්' (Biodegradable lunch sheet) හඳුන්වා දෙන බවට ඇතැම් සමාගම් ප්‍රකාශ කර තිබූ බැවින් එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පැවසීය.


එසේම 'ලන්ච් ෂීට්ට් 'ක්වෙනුවට විකල්ප හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අදාළ  සමාගම්වලට උපදෙස් දී ඇතත්, ඔවුන් ඒ සඳහා පියවර නොගත් බවද අමරවීර මහතා පෙන්වා දුන්නේය. මේ අතර මේ වනවිට ලෝකයේ කිසිදු රටක ලන්ච් ෂීට් භාවිත නොකරන බවත්, ඒ අනුව ලන්ච් ෂීට් භාවිත කරන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පරිසර අමාත්‍යාංශය පසුගියදා පෙන්වාදී තිබිණි. එසේම ඇතැම් සමාගම් විසින් 'ලන්ඩ් ෂීට්' නිපදවන යන්ත්‍ර, ගෘහස්ත කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම  හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ නිපදවන ලන්ච් ෂීට් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවක් පවතින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දුන්නේන්ය.


කෙසේ වුවද වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සමාගම් 04ක් විසින් මසකට ලන්ච් ෂීට්  ටොන් 07-08 අතර ප්‍රමාණයක් නිපදවනු ලැබේ. ඒ අනුව වාර්ෂිකව 'ලන්ච් ෂීට් 'ටොන් 106ක් පමණ මෙරට තුළ භාවිත කෙරේ. එසේම මෙරට තුළ දිනකදී පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා තිබෙන අතර, වඩා වැදගත්ම  කරුණ නම් ලන්ච් ෂීට් හේතුවෙන් පසට එක්වන ක්‍ෂද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බවට විද්‍යාත්මකව සනාථ වී තිබීමය.


 -නිදර්ශනි වික්‍රමසිංහ-