lasith-malinga-speaks

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේ නැති බවත්, නුදුරේදී විශ්‍රාම ගැනීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කියයි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුද වන  රසල් ආනල්ඩ් මහතා විසින් සප්පාදනය කරනු ලබන “චිලිං විත්  රසල්" නම් වූ යූ ටියුබ් වැඩසටහන සඳහා එක්වෙමින් මාලිංග මෙම අදහස් දක්වා සිටියේය.  “කාටහරි රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්  සිරීස් තරඟාවලියට සහභාගී වීමට ඕනෑනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන්විශ්‍රාම ගත යුතුයි. නමුත් මම විශ්‍රාම යන්නේ නෑ" යනුවෙන් මාලිංග පැවසීය.


ලබන වසරේ පැවැත්වෙන “රෝඩ්  සේෆ්ටි වර්ල්ඩ් සිරීස්" තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම සමගින් එක්වන ලෙස කණ්ඩායම් කළමනාකරු ශාම් ඉම්පෙත් මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස මාලිංග එසේ පැවසීය.




“විස්සයි20 ලෝක කුසලානය ගැන නෙවේ මම කියන්නේ. මම විශ්‍රාම යන්නේ  නැහැ. මට තවමත් පන්දු 24 ක් කඩුල්ල කෙලින් යවන්න පුළුවන්” යැයි මාලිංග පැවසීය.  “මට කිලෝමීටර් 2 නියමිත වේලාවට සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසයි මම ගෙදර ඉන්නේ. කෙසේ වෙතත් මට කිසිදු ගැටළුවක් නොමැතිව පැය 2 ක් පමණ පන්දු යවන්න පුලුවන්" සංචාරයකට එක්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියමිත කාලයක් තුළ කිලෝමීටර් 2 ක දුරක් සම්පූර්ණ කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මාලිංග එසේ පැවසීය.


"මට කෙළින් පන්දු 24 ක් යවන්න පුළුවන්. මට පන්දු 200 ක් පවා පන්දු යවන්න පුළුවන්. නමුත් කිලෝමීටර් 2 ක යෝග්‍යතා පරීක්ෂණය කරන්න බැරී නිසා මම ගෙදර ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි -20 මට්ටමින් දස්කම් දැක්වීමට තමාට තවමත් හැකියාවක් ඇති බව මාලිංග තවදුරටත් කියා සිටියේය.

“මම නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත්තා. ඒ වන විට මට වයස අවුරුදු 37 යි. එම අවස්ථාවේදී කිසිවකු මගේ බඩ හෝ  යෝග්‍යතාව පිළිබඳව පැමිණිලි කළේ නෑ. කවුරුත් ඒ ජයග්‍රහණය අත්ම්පොලසන් දිලා සතුටින් භාරගත්තනේ යයිද මාලිංග “චිලිං විත් රසල්” නම් වූ යූ ටියුබ් වැඩසටහන සඳහා එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.