france-incident

ප්‍රංශයේ තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් (ලංකාවේ 119 මෙන්) එරට භාවිතාවන 18 නමැති හදිසි අංකය පැය කිහිපයක් බිඳ වැටුනේ - බරපතල ප්‍රතිවිපාක සමඟිනි. 




විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  බදාදා සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 6 ක කාලයක් මෙම අංකය ක්‍රියා නොකළ බවයි.
ප්‍රංශ රජය පවසන පරිදි එය හේතුකොට අවම වශයෙන් මරණ තුනක් සිදුවී ඇත. විශාලතම විදුලි සංදේශ සැපයුම්කරු වන ඔරේන්ජ් හි තාක්ෂණ බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති අතර එම වරද "බරපතල හා පිළිගත නොහැකි" එකක් යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් විවේචනාත්මකව හැඳින්වීය.
 ප්‍රංශ හදිසි සේවා සංඛ්‍යාව රටපුරා ක්‍රියා නොකළ නිසා බොහෝ ඇමතුම්කරුවන් ද පොලිසියට සහ ගිනි නිවන හමුදාවට එන්නට බැරිව අපහසුතාවන්ට ලක්විය.


අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩර්මනින් පැවසුවේ දැනට ඇති වාර්තා අනුව හෘද රෝගීන් තිදෙනෙකුට නියමිත වේලාවට උපකාර ලබා ගත නොහැකිව තිදෙනාම මියගිය බව සනාථ වූ බවයි.
සිදුවීමෙන් පසු විදුලි සංදේශ සැපයුම්කරු ඔරේන්ජ් හි ප්‍රධානී ස්ටෙෆාන් රිචඩ් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට කැඳවනු ලැබීය. බිඳවැටීම ගැන ඔහු ගනුදෙනුකරුවන්ගෙන් සමාව අයැද සිටියේය. මේ ගැන පරීක්ෂණ පවත්වන අතර හැකර් ප්‍රහාරයක් යන්න රජයේ විශ්ලේෂණ අනුව ප්‍රතික්ෂේප වී ඇත.
මේ වරද වෙනුවෙන් නීති මාර්ගයෙන් ක්‍රියාකරන බව අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් දන්වා සිටියේය.