dehiwala-zoo-covid19

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කර තිබේ. සිබ්‍රාවෙකු හා හිපපොටේමස් සත්වයෙකු හිටි හැටියේ මියයාමේ සිද්ධි දෙකක්ද පසුගිය දිනවල වාර්තා වී තිබේ.
 
 මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාට බවත්


 දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත්, ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඩ් බවට තහවුරු වී ඇතැයිද වාර්තා කර තිබේ.
 සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers)  දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද දැනගන්නට ඇත.
 
 සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වන අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.



 ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බව වාර්තා වේ.
 
 මේ පිළිබඳව අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කරුණු විමසූ විට ඒ මහතා කියා සිටියේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප‍්‍රතිපලවල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි.