හලාවත රෝහලේ මෘතශරිර දෙකක් සම්බන්ධයෙන් පෙරේදා (3) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එක් පාර්ශ්වයක ඥාතීන් විසින් මෘත ශරීරයක් හඳුනාගන බාරගෙන භූමිදානය කිරීමෙන් අනතුරුව එම මෘතශරිරයේ සැබෑ අයිතිකරුවන් රෝහලට පැමිණ තමන්ට අයත් මෘතශරීරය ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.  මෙම මරණ දෙකින් එකක් රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුව ඇති අතර අනෙක් මරණය විල්පත් දේවාලහංදිය ප්‍රදේශයේදී රියඅනතුරක්

හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුව ඇති මරණයක් බව පොලිසිය පවසයි.

මෙසේ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය කරුක්කුපනය පදිංචි නැමති 46හැවිරිදි තිදරු පියෙකි. 

විල්පත දේවාලහංදිය ප්‍රදේශයේදී රිය අනතුරකින් මරණයට පත්ව ඇත්තේ හොරණ, කුඩා උඩුව, වලව්වත්ත පදිංචි බාලසූරිය මුදියන්සේලාගේ හේරත් හාමිලාගේ රුවන්සම්පත් නැමති 44 හැවිරිදි තිදරු පියෙකි.



ආරච්චිකට්ටුව කරුක්කුපනය පදිංචිව සිටි මරණකරුගේ මෘතශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ඥාතීන් ලවා හඳුනාගැනීමෙන් අනතුරුව රෝහලේදී සිදුකළ පරීක්ෂණයෙන් හලාවත රෝහලේ හදිසි මරණ පරික්ෂක වසන්ත ගීකියනගේ මහතා වෙද්‍ය වාර්තා සහ සාක්ෂි සැළකිල්ලට ගෙන එම මරණය අක්මාව ඉදිමීම නිසා ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුව ඇති බවත් එම මෘතශරීරය ඥාතීන්ට ලබා දෙන ලෙසටත් රෝහල් මෘතශරීරාගාර කාර්ය මණ්ඩලයට නියෝග කර ඇත. මෙම ඉසු අනතුරක් සම්බන්ධයෙන් සිදුවඇති මරණයේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට එම ඥාතීන්ට මෘතශරිරය පෙන්වීමෙන් අනතුරුව එම මෘතශරීරය තමන්ට අයත් එකක් නොවන බවත් තමන්ට අයත් සිරුර වහාම ලබාදෙන ලෙසටත් රෝහල් බලධාරීන්ට චෝදනා කර ඇත. 


ඒ අනුව සිදුව ඇ ත්තේ රියඅනතුරෙන් සිදුව ඇති මරණයට සම්බන්ධ මෘතශරිරය තමගේ මෘත ශරීරය බවට ආරච්චිකට්ටුව කරුඤ්ඤාපනය ඥාතීන් හඳුනා ගැනීම හේතුවෙන් එම මෘතශරිරය ඔවුන් ගෙගොස් ඇති බවයි. කෙසේ වෙතත් පෙරේදා (3) මෙම මෘතශරීරය සිය ඥාතීන් විසින් නිවෙසේදී අවසාන ගෞරව හා ආගමික කටයුතුවලින් අනතුරුව භූමදානයද කර ඇත. අනතුරුව රිය අනතුරන් මරණයට පත් මළසිරුර බාරගැනීමට පෙර එම ඥාතීන් පරික්ෂා කිරීමේදී මෙය තමන්ගේ මරණයට පත් ඥාතියා නොවන බවත් තමන්ගේ ඥාතියාගේ නියම සිරුර තමන්ට ලබාදෙන බවත් රෝහල් බලධාරීන්ට පවසා ඇත.



ඒ අනුව සිදුකළ පරික්ෂාවකදී මෘතශරීර මාරුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇත. මෙම

ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව දැනට භූමදානය කර ඇති මළ සිරුර ගොඩගැනීමට සිදුවන බවත් සිදුව ඇති වරද සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවත් ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ සහකාර පොලිස් අධිකාරි රංජිත් විජේවර්ධන යන පොලිස් නිලධාරීන්ගේ උපදෙස්මත ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විරෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


(ආරච්චිකටුව ලලිත් නරන්න)